ජලය භාවිතා ගැන රටේ ජනතාවට දැනුම්දීමක් - වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක මේ දිනවල පවතින උෂ්ණාධික සහ වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන්, පවතින ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා ඇත.
මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයකම සැලකිය යුතු ජල හිඟතාවයක් පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ප්‍රධාන ජලාශ 73හි සමස්ත ධාරිතාවයෙන් දැනට ඉතිරිව පවතින්නේ සියයට 40ක පමණ ප්‍රමාණයක් බවත් අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා පැවසුවේය.
ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ එළඹෙන අගෝස්තු මාසය සහ දැනට පවතින 'එල්නිනෝ' තත්ත්වය හේතුවෙන් ඇති වන අධික උෂ්ණත්වය නිසා ජලාශවල ජලය වාෂ්ප වී සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි වන බවත් නැවත වර්ෂාපතනයක් ලැබෙන තෙක් ජලාශවල ඇති ජලය ඉතා ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු බවත්ය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා පෙන්වා දුන්නේ ජලය අපතේ යා නොදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ජනතාවගේ සහය අපේක්ෂා කරන බවත්, ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම තුළින් පවතින වියළි කාලගුණික තත්ත්වය සාර්ථකව කළමනාකරණය කරගත හැකි වනු ඇති බවත්ය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ,
''ලංකාවේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල වියළි කාලගුණික තත්ත්වයක් තමයි අපිට අත්දකින්න ලැබෙන්නේ. අපේ ජලාශ පද්ධතිය පිළිබඳ ගත්තොත් ප්‍රධාන ජලාශ 73න් සමස්ත ධාරිතාවය විදිහට ගත්තොත් 40%ක විතර ප්‍රමාණයක් තමයි සමස්ත ධාරිතාවයෙන් මේ වෙනකොට අප සතුව තියෙන්නේ. විශේෂයෙන්ම දිස්ත්‍රික්ක කීපයක සැලකිය යුතු ජල හිඟතාවයක් පවතිනවා. ඒ වගේම නැවත වර්ෂාපතනය ලැබෙනතෙක් මේ පවතින ජලාශවල සහ ලබාගත හැකි ජලයන් ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතුයි. මක්නිසාද අගෝස්තු මාසය සහ මේ එල්නිනෝ තත්ත්වය මත විශේෂයෙන්ම අධික උෂ්ණත්වයත් සමග ජලාශවල ජලය වාෂ්ප වීම නිසා සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි වෙනවා. මේ නිසා භාවිතය විශේෂයෙන්ම ජනතාවගෙන් එම ජලය අපතේ නොයා ප්‍රයෝජනය ගැනීම සඳහා අවශ්‍ය සහය ලබා දෙන්න කියන ඉල්ලීමත්, හැමවිටම ජලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම තුළින් අපිට මෙවැනි තත්ත්වය කළමනාකරණය කරගන්නට හැකි වේවි.''
ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පැවසුවේ ඉදිරියේ දී මුහුණ දීමට සිදුවන එල්නිනෝ කාලගුණික තත්ත්වය සාර්ථකව කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කර අවසන් බවත් එල්නිනෝ තත්ත්වය යනු වර්ෂාපතනය සම්පූර්ණයෙන්ම නැතිවීමක් නොව, වර්ෂාපතන රටාවේ සිදුවන යම් වෙනස් වීමක් පමණක් වන බවත්ය. කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ පරිසරයේ උෂ්ණත්වය ඉහළ යන අතර, ඒ හේතුවෙන් ජලය වාෂ්පීකරණය වීම වැඩි වන බව නිලන්ත ධනපාල මහතා පෙන්වා දෙයි.
ජල කළමනාකරණයක අවශ්‍යතාවය මතු වන්නේ මෙම උෂ්ණත්වය ඉහළ යාම නිසා බව ඔහු අවධාරණය කළේය. දැනට යල කන්නය අවසන් වෙමින් පවතින බැවින්, එළඹෙන මහා කන්නයේ වගා කටයුතු ඔක්තෝම්බර් මස 01 වනදාත් 15 වනදාත් අතර කාලය තුළ ආරම්භ කිරීමට රජය විසින් සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර තීරණය කර ඇති බවද ඒ මහතා මෙහිදී පැවසීය. මේ හේතුවෙන්, අදාළ ප්‍රදේශ, කලාප හෝ වාරි පද්ධති මට්ටමින් සියලුම ගොවි ජනතාව එකවර වගා කටයුතු ආරම්භ කළ යුතු බව ද අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.
එලෙස එකවර වගා කටයුතු ඇරඹීම තුළින් විශාල ජල ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි වන බවත්, ඊට අමතරව විදුලිය සහ පානීය ජලය ද අපතේ නොයවා අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමට ජනතාව වගබලා ගැනීමෙන් ඉදිරි තත්ත්වයට සාර්ථකව මුහුණ දීමට හැකියාව ලැබෙන බවත් නිලන්ත ධනපාල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. එහිදී අදහස් දැක්වූ ජල කළමනාකරණ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා, ''එල්නිනෝ තත්ත්වය කියන්නේ ඇත්තටම වර්ෂාපතනය නැතිවීමක් නෙවෙයි, යම්කිසි වර්ෂාපතන වෙනස් වීමක් වෙන්නේ. ඉතින් අපි ඒ වර්ෂාපතනයත් පුරෝකථනය කරලා ඉදිරි කාලයේ කොහොමද කළමනාකරණය කරන්නේ කියලා දැන් සැලැස්ම හදලා ඉවරයි. අපිට සාමාන්‍යයෙන් එල්නිනෝ තත්ත්වය කියලා ලොකු බලපෑමක්, ලොකු වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි උෂ්ණත්වය තමයි වැඩිවෙන්නේ. උෂ්ණත්වය තමයි වාෂ්පීකරණය වැඩි වෙනවා.
ඒ නිසා තමයි අපිට මේ කළමනාකරණයේ අවශ්‍යතාවය එන්නේ. නමුත් වර්ෂාපතන රටාවේ ආවොත් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් මම ඉල්ලා සිටින්නේ අපි දැන් යල කන්නයේ අවසානයේ ඉන්නේ. හැබැයි දැන් අපි ඊළඟට පටන් ගන්න තියෙන්නේ මහා කන්නය. අපි දැන් රජයක් විදිහට අපි දැන් සියලුම දෙනා කතිකාවකට ඇවිල්ලා තියෙනවා ඔක්තෝම්බර් 01 වෙනිදා 15 අතර කන්නය පටන් ගැනීමට. ඉතින් ඒක අපේ ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එළඹෙන මහා කන්නය ඔක්තෝම්බර් 01 සිට 15 අතර පටන් ගැනීම සහ අනිවාර්යෙන් අපි ප්‍රදේශයක් ගත්තොත්, නැත්නම් සිස්ටම් එකක් ගත්තොත්, නැත්නම් කලාපයක් ගත්තොත් අනිවාර්යෙන් එකවර පටන් ගන්න ඕනේ. එකවර පටන් ගත්තොත් අපිට සෑහෙන වතුරක් ඉතුරු කරන්න පුළුවන්. ඒ වගේම විදුලිය සහ පානීය ජලය අපි අපතේ දාන්නේ නැතුව තව ඉතුරු කරගන්න පුළුවන් නම් අපිට මේ කියන එල්නිනෝ තත්ත්වයට හොඳට මුහුණ දෙන්න පුළුවන්.''