ට්‍රම්ප් හෝමූස් අල්ලද්දී ඉරානය කැලිෆෝනියාව අල්ලයි
ඉරාන - ඇමරිකානු යුද්ධය මධ්‍යයේ මැදපෙරදිග සිට ලෝකයේ අනෙකුත් රටවලට තෙල් හා ගෑස් ප්‍රවාහනය කරන ප්‍රධාන ජල මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධියේ ආතතීන් තවදුරටත් ඉහළ යමින් පවතී.
මේ අතර, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ සිතියමක් පළ කරමින් හෝමූස් සමුද්‍ර සන්ධිය තම පාලනය යටතේ පවතින බවත්, එය එක්සත් ජනපද භූමියක් බවත් ප්‍රකාශ කර තිබේ. පසුව ධවල මන්දිරයේ නිල සමාජ මාධ්‍ය ගිණුමද එම සිතියම නැවත පළ කර ඇත.

ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඉරානය, එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තය ඉරානයට අයත් භූමියක් ලෙස නිරූපණය කළ සිතියමක් සමාජ මාධ්‍යයට එක්කර තිබේ.
හයිද්‍රාබාද්හි ඉරාන තානාපති කාර්යාලය විසින් සිය නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පළ කර ඇති මෙම සිතියමේ කැලිෆෝනියා ප්‍රාන්තය දීප්තිමත් නිල් පැහැයෙන් දැක්වෙන අතර, එය “ඉරාන ඉස්ලාමීය ජනරජයේ නව භූමියක්” ලෙස හඳුන්වා තිබේ.
කැලිෆෝනියාව ලොව විශාලතම ඉරාන ඩයස්පෝරා ජනගහනයක් වාසය කරන ප්‍රදේශයක් ලෙසද සැලකේ. ඉරාන-ඇමරිකානුවන් 141,000කට ආසන්න පිරිසක් ප්‍රධාන වශයෙන් ලොස් ඇන්ජලීස් ප්‍රාන්තය ආශ්‍රිතව ජීවත් වෙති.

ලොස් ඇන්ජලීස්හි වෙස්ට්වුඩ් ප්‍රදේශය ඉරාන සම්භවයක් සහිත විශාල ජනගහනයක් හේතුවෙන් “ටෙහෙරාන්ජලීස්” ලෙසද හැඳින්වේ. 1979 ඉරාන ඉස්ලාමීය විප්ලවයෙන් පසුව මෙම ප්‍රදේශය ඉරානයෙන් පැමිණි සහ අවතැන් වූ ජනතාවගේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්විය.
හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් පවතින මෙම වාග් සංග්‍රාමය දෙරට අතර පවතින දේශපාලන හා යුද ආතතිය තවදුරටත් උත්සන්න වී ඇති බව පෙන්වා දෙයි.