ලුණුවිල හෙලිකොප්ටර අනතුර විමර්ශනයට කමිටුවක්

Report

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා සදහන් කරන්නේ වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේ සිදුවූ හෙලිකොප්ටර් අනතුර පිළිබඳ විමර්ශනයට ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් ඇතුළු 9දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර ඇති බවයි .

තවද මෙරටට බලපා ඇති ඕනෑම හදිසි ආපදාවකදී විපතට පත් ජනතාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව ,පොලීසිය, ආරක්ෂක අංශ තම ජීවිත ගැන නොතකා විශාල මෙහෙයුමක් සිදුකරයි. වර්තමානයේ පවතින ආපදා තත්වයෙන් ජනතාව මුදවා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසල් මනුසත් මෙහෙවරක යෙදෙමින් සිටියි.

එහෙත් එම මෙහෙයුම් අතරතුර හද සසළ කරවන සිදුවීමක් ඊයේ දිනයේ වාර්තා විය .

ඒ, මානුෂීය ක්‍රියාන්විතයේ නියැලෙමින් සිටි ගුවන් හමුදා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානය අනතුරට පත්වීමයි.

 එම අවස්ථාවේදීත් ලුණුවිල පාලම අසල සිටි පිරිසකට ආහාර ද්‍රව්‍ය ඇතුළු උපකරණ ලබාදීමට සූදානමින් සිටිය දී හෙලිකොප්ටරය ගිං ඔයට කඩා වැටී තිබේ.

එම නියමුවන් උත්සාහ දරා තිබුණේ ආරක්ෂිත ගොඩබැස්වීමකටයි.

හෙලිකොප්ටර් යානයේ ගමන්ගත් ගුවන් නියමුවා ඇතුළු 05 දෙනා මුදාගැනීම සඳහා ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස දැඩි පරිශ්‍රමයක් යොදා තිබුණි. ඔවුන් ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කර ඇත .

එහෙත් අවසනාවන්ත ලෙස යානයේ සිටි ගුවන් නියමුවන්ගෙන් එක් නියමුවෙක් ජීවිතක්ෂයට පත් ව තිබේ.

මෙම කණගාටුදායක සිදුවීමෙන් මියගොස් ඇත්තේ වින්ග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය නමැති 41 හැවිරිදි ගුවන් හමුදා නිලධාරියෙකි.

ඔහු පිළිබඳ තවත් සංවේදී කරුණක් අද දැනගන්නට ලැබුණි. ඒ අනුව ගුවන් නියමු නිර්මාල් මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික සබඳතා විෂයේ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කර ඇති අයෙකි .

ඔහු සූදානම්ව සිට ඇත්තේ හෙට පැවැත්වෙන එම උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීමටයි.

මිනිස් හදවත සසළ කළ ඛේදනීය  සිදුවීමක් මෙසේ අවසන් විය.

නමුත් සෑම සිතකම ඔහුගේ නාමය රන් අකුරින් සනිටුවහන් වෙනු ඇත.