බදු ලිපිගොනු අළු වුණාද? - කළුතර දේශීය ආදායම් කාර්යාලයේ ගින්න ගැන පොලිසියෙන් පුළුල් විමර්ශනයක්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයත් කළුතර ප්‍රාදේශීය කාර්යාලයේ හටගත් ගින්න සම්බන්ධයෙන් පොලිසිය සහ අදාළ ආයතන මගින් විමර්ශන ආරම්භ කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම ගින්නෙන් බදු කටයුතු සඳහා භාවිතා කරන දත්ත පද්ධතියට කිසිදු හානියක් සිදු වී නොමැති බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.
ඇය වැඩිදුරටත් සඳහන් කළේ, ගින්න හේතුවෙන් ඇති වූ බාධා ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි. දුරස්ථ සම්බන්ධතා පද්ධති හරහා සේවා නැවත ආරම්භ කිරීම සහ කාර්යාල කටයුතු සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සඳහා අවශ්‍ය පියවර ගනිමින් පවතින බවද ඇය කියා සිටියාය.
මෙම කාලය තුළ කළුතර කාර්යාලයෙන් සේවා ලබාගැනීමට අපේක්ෂා කරන ජනතාවට, ආසන්න ප්‍රාදේශීය කාර්යාලයකින් හෝ ප්‍රධාන කාර්යාලය හරහා එම සේවාවන් ලබාගැනීමේ හැකියාව පවතින බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.