දුම් නැති දුම්රිය යුගයකට ඉන්දියාව සැරසෙයි - පළමු හයිඩ්‍රජන් දුම්රිය ධාවනයට සියල්ල සූදානම්
ඉන්දියාවේ පළමු හයිඩ්‍රජන් බලයෙන් ධාවනය වන දුම්රිය ජූලි 17 වැනිදා හර්යානා ප්‍රාන්තයේ ජින්ද් නගරයෙන් ආරම්භ කිරීමට අගමැති නරේන්ද්‍ර මෝදි නියමිත බව ඉන්දීය රජය සඳහන් කරයි.
මෙම දුම්රිය ජින්ද් සහ සෝනීපත් අතර ධාවනය කිරීමට සැලසුම් කර ඇති අතර, එය ඉන්දියානු දුම්රිය සේවයේ පරිසර හිතකාමී ප්‍රවාහන තාක්ෂණය සඳහා වන වැදගත් පියවරක් ලෙස හඳුන්වා දී ඇත.
මෙම ව්‍යාපෘතිය හරහා බලශක්ති කාර්යක්ෂමතාව, නවෝත්පාදන සහ කාබන් විමෝචනය අඩු කිරීමේ ඉන්දියාවේ ඉලක්ක සඳහා සහාය ලබාදීම අරමුණු කර තිබේ. ජින්ද් ප්‍රදේශයේ මෙම දුම්රිය සඳහා දේශීයව නිෂ්පාදනය කළ හයිඩ්‍රජන් ගබඩා සහ ඉන්ධන පිරවීමේ පහසුකමක් ස්ථාපිත කර ඇත.
සම්පීඩිත හයිඩ්‍රජන් වායුව ගබඩා කිරීම සහ බෙදාහැරීම සඳහා අවශ්‍ය බලපත්‍රය ඛනිජ තෙල් හා පුපුරණ ද්‍රව්‍ය ආරක්ෂණ සංවිධානය (PESO) විසින් ලබාදී තිබේ. හයිඩ්‍රජන් ඉන්ධන කෝෂ තාක්ෂණය මඟින් රසායනික ප්‍රතික්‍රියාවක් හරහා විදුලිය නිපදවන අතර, එහි ප්‍රධාන විමෝචනය ජල වාෂ්ප පමණක් බව රජය සඳහන් කරයි.
මෙම තාක්ෂණය භාවිතා කරන රටවල් අතර ජර්මනිය, ජපානය, චීනය සහ එක්සත් ජනපදය ද සිටින බවත්, ඉන්දියාව එම කණ්ඩායමට එක්වන බවත් නිල ප්‍රකාශයේ සඳහන් වේ.
දුම්රිය ආරක්ෂිතව ධාවනය කිරීම සඳහා හයිඩ්‍රජන් කාන්දුවීම් හඳුනාගැනීමේ සංවේදක, ගිනි හඳුනාගැනීමේ පද්ධති සහ නිරන්තර නඩත්තු ක්‍රමවේද සකස් කර ඇති බවද රජය පවසයි. ආරම්භක අදියරේදී පුහුණු තාක්ෂණික කාර්ය මණ්ඩලය දුම්රිය සමඟ ගමන් කරමින් එහි ක්‍රියාකාරිත්වය අධීක්ෂණය කිරීමට නියමිතය.