ඉන්දියාව ප්‍රබල බ්‍රසීලය හමුවේ පරාජයෙන් පසු උරුගුවේ තරගයේ ටිකට් 90%කින් පහළට

Report

ඉන්දියාව සහ උරුගුවේ අතර පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර පාපන්දු තරගය සඳහා ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි කර ගැනීමේ අරමුණින් ප්‍රවේශපත්‍ර මිල විශාල ලෙස අඩු කිරීමට සංවිධායකයින් පියවර ගෙන තිබේ.

ඒ අනුව, ඉන්දියාව සහ උරුගුවේ අතර ඔක්තෝබර් 6 වැනිදා පැවැත්වෙන තරගයේ තෝරාගත් ආසන සඳහා තිබූ ඉන්දීය රුපියල් 1,999ක ප්‍රවේශපත්‍ර මිල ඉන්දීය රුපියල් 199ක් දක්වා අඩු කර ඇත.

මෙය ප්‍රවේශපත්‍ර මිලෙහි සියයට 90ක පමණ අඩුවීමක් වන අතර, C2 Left සහ C2 Right ආසන කාණ්ඩ සඳහා මෙම සංශෝධිත මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ.

ඉන්දියාව සහ බ්‍රසීලය අතර ඔක්තෝබර් 3 වැනිදා කොල්කටාහි සෝල්ට් ලේක් ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී ප්‍රේක්ෂකාගාරයේ ආසන විශාල ප්‍රමාණයක් හිස්ව පැවතීම මෙම තීරණයට හේතුවී තිබේ.

ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ප්‍රබල කණ්ඩායම් ගොඩකට මැදි වෙයි - සම්පූර්ණ තරග කාලසටහන මෙන්න

ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ප්‍රබල කණ්ඩායම් ගොඩකට මැදි වෙයි - සම්පූර්ණ තරග කාලසටහන මෙන්න

ආසන 85,000ක පමණ ධාරිතාවක් සහිත එම ක්‍රීඩාංගණයට බ්‍රසීලය සමඟ පැවති තරගය නැරඹීමට පැමිණ ඇත්තේ ප්‍රේක්ෂකයන් 51,000කට ආසන්න සංඛ්‍යාවක් පමණි.

බ්‍රසීල කණ්ඩායම වෙනුවෙන් විනිසියස් ජූනියර්, ගේබ්‍රියෙල් මැගලෑන්ස් සහ මාර්කින්හෝස් වැනි ප්‍රකට ක්‍රීඩකයන් ක්‍රීඩා කළ තරගයකදී මෙලෙස ආසන හිස්ව පැවතීම පිළිබඳවද අවධානය යොමුව තිබේ.

මේ අතර, දෙවරක් ලෝක ශූරයන් වූ උරුගුවේ කණ්ඩායම සැප්තැම්බර් 30 වැනිදා කොල්කටාවට පැමිණ ඇති අතර, ඔක්තෝබර් 6 වැනිදා පැවැත්වෙන ඉන්දියාව සමඟ තරගය සඳහා පුහුණුවීම් ආරම්භ කර තිබේ.

උරුගුවේ සංචිතයට රියල් මැඩ්රිඩ් කණ්ඩායමේ ෆෙඩරිකෝ වැල්වර්ඩේ ඇතුළු ප්‍රකට ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැසක් ඇතුළත් කර තිබේ.

රොද්‍රිගෝ බෙන්ටන්කූර්, ලූකස් ටොරේරා, ජෝර්ජියන් ද අරස්කේටා, ෆකුන්ඩෝ පෙලිස්ත්‍රි සහ මැක්සිමිලියානෝ අරාඋහෝ වැනි ක්‍රීඩකයන් ද එම සංචිතයට ඇතුළත්ය.

ආරක්ෂක පෙළට රොනාල්ඩ් අරාඋහෝ, ජොසේ මරියා ගිමෙනෙස් සහ නහිතන් නන්දෙස් ඇතුළු අත්දැකීම් බහුල ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ඇතුළත් කර ඇති අතර, ඉදිරි පෙළට ඩාර්වින් නුනෙස්, මිගෙල් මෙරෙන්ටියෙල් සහ රොද්‍රිගෝ අගුයිරේ වැනි ක්‍රීඩකයන් නම් කර තිබේ.

බ්‍රසීලය හමුවේ පැවති තරගය ගෝල 4-0ක් ලෙස පරාජයට පත්වූ ඉන්දියාවට, උරුගුවේට එරෙහි තරගයේදී වඩාත් හොඳ දස්කමක් දැක්වීමට හැකි වේද යන්න පිළිබඳව මේ වන විට අවධානය යොමුව තිබේ. 

ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ප්‍රබල කණ්ඩායම් ගොඩකට මැදි වෙයි - සම්පූර්ණ තරග කාලසටහන මෙන්න

ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ප්‍රබල කණ්ඩායම් ගොඩකට මැදි වෙයි - සම්පූර්ණ තරග කාලසටහන මෙන්න