අයි.එම්.එෆ් ණය යටතේ ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 695ක්

Report

ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  සමඟ ක්‍රියාත්මක කරන ආර්ථික වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා පවත්වන ලද පස්වැනි සහ හයවැනි ඒකාබද්ධ සමාලෝචන සඳහා මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ නිල අනුමැතිය හිමිව තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා අද (28) අන්තර්ජාලය ඔස්සේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව නිල වශයෙන් ප්‍රකාශ කළේය.

මෙම නව අනුමැතියත් සමඟ ණය වැඩසටහනේ මීළඟ වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 695 ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත අතර, ඒ අනුව මේ දක්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් මෙරටට මුදා හැර ඇති සමස්ත ණය මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4 දක්වා ඉහළ යන බව ද ඔහු සඳහන් කළේය.

මෙරට ආර්ථිකය ස්ථාවර කිරීම උදෙසා හඳුන්වා දුන් අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව ඉතා ශක්තිමත් සාමාන්‍ය ප්‍රගතියක් අත්කර ගනිමින් සිටින බව පැපජෝජියෝ මහතා මෙහිදී ඇගයීමට ලක් කළේය.

පසුගිය කාලසීමාව තුළ මෙරට දියත් වූ දැඩි ආර්ථික ප්‍රතිසංස්කරණ හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට ඕනෑම අර්බුදයකට ඔරොත්තු දීමේ සුවිශේෂී හැකියාවක් නිර්මාණය වී ඇති බව පෙන්වා දුන් ඒ මහතා, මෑතකදී බලපෑ 'දිට්වා' සුළි කුණාටුව මෙන්ම ගෝලීය වශයෙන් මතුවූ විවිධ බාහිර කම්පනයන්ට සාර්ථකව මුහුණ දීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ එම ප්‍රතිසංස්කරණ නිසා බව ද අවධාරණය කළේය.

විශේෂයෙන්ම, විධායක කමිටු අනුමැතිය ලබාගැනීම සඳහා අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියක් වූ ඉන්ධන සහ විදුලි ගාස්තු සඳහා පිරිවැය ආවරණය වන පරිදි මිල සූත්‍ර ක්‍රියාත්මක කිරීම සහ රජය විසින් ලබාදෙන සහනාධාර විධිමත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පූර්ණ සෑහීමකට පත්ව ඇති බව ද දූත මණ්ඩල ප්‍රධානියා කියා සිටියේය.

රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට - ගැසට් නිවේදනය නිකුත් වේ

රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට - ගැසට් නිවේදනය නිකුත් වේ

කෙසේ වෙතත්, වත්මන් ගෝලීය දේශපාලන වටපිටාව තුළ නිර්මාණය වී ඇති මැදපෙරදිග දරුණු ආර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික වර්ධන වේගය යම් දුරකට පහළ බැසීමේ අවදානමක් පවතින බව ද එවන් පැපජෝජියෝ මහතා මෙහිදී මතක් කර දුන්නේය.

මෙම ජාත්‍යන්තර අර්බුදය මෙරට ආර්ථිකයේ ස්ථාවරත්වයට සෘණාත්මක බලපෑම් එල්ල කරමින් පවතින බැවින්, ඉදිරි කාලසීමාව තුළදී ද මූල්‍ය විනය උපරිමයෙන් ආරක්ෂා කරගනිමින් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ ඒ අයුරින්ම ඉදිරියට රැගෙන යාම අත්‍යවශ්‍ය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා දෙයි.

කෝපි මිල ශීඝ්‍රයෙන් ඉහළට

කෝපි මිල ශීඝ්‍රයෙන් ඉහළට