නිතිවිරෝධිව ගෙන ආ දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් මාට්ටු
රුපියල් ලක්ෂ 100 ක වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එමින්, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් අද (23) ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා කොළඹ-12 ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බව සඳහන් වේ. ඒ අනුව ඔහු අද අලුයම 03.50 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK-654 යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබේ.
පොලිසිය සඳහන් කළේ ඔහු රැගෙන ආ ගමන් මලු තුන තුළ, විදේශීය නිෂ්පාදිත "මැන්චෙස්ටර්" වර්ගයේ දුම්වැටි 40,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 200 ක් සගවාගෙන සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවූ බවයි.