"මහින්දව එක දවසකට හරි හිරේ දැම්මොත් කොළඹ ඉවරයි" - තිස්ස කුට්ටිආරච්චි
හිටපු ජනාධිපති ,මහින්ද රාජපක්ෂ මහතාට එළඹෙන මැයි 12 වනදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති පසුබිමක, එය දේශපාලන පළිගැනීමක් විය හැකි නම් දැඩි ජනතා විරෝධයක් ඇති විය හැකි බව හිටපු අමාත්‍ය තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, රටේ නීතියට අනුව සිදුවන සාධාරණ පරීක්ෂණවලට තමන් බාධා නොකරන බවත්, වංචා හෝ දූෂණ චෝදනා පිළිබඳ විමර්ශන සිදු කිරීම නීතිමය ක්‍රියාවලියක් බවත්ය. කෙසේ වෙතත්, නීතිය පසෙකලා දේශපාලන කුමන්ත්‍රණයක් මගින් හිටපු ජනාධිපතිවරයාව අත්අඩංගුවට ගැනීමට හෝ අසාධාරණ පියවරක් ගැනීමට උත්සාහ කළහොත් රට තුළ දැඩි විරෝධතා තත්ත්වයක් ඇති විය හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.
මෙවැනි තත්ත්වයන් පිළිබඳව තීන්දු ගන්නා බලධාරීන් අවධානයෙන් කටයුතු කළ යුතු බවත්, මහින්ද රාජපක්ෂ මහතාට ජනතාව අතර තවදුරටත් දැඩි සහයෝගයක් පවතින බවත් කුට්ටිආරච්චි මහතා අවධාරණය කළේය. එම අවස්ථාවේදී ඔහු වැඩිදුරටත් අදහස් දැක්වූ බව සඳහන් වුවද, එහි සම්පූර්ණ ප්‍රකාශය තවම අනාවරණය වී නොමැත.
“හොරකමක් වෙලා තියෙනවා නම් වංචාවක් වෙලා තියෙනවා නම් සාධාරණ පරීක්ෂණ කරන්න. ඒවට අපි අතපොවන්නේ නෑ. ඒකනේ රටේ නීතියක් තියෙන්නේ. හැබැයි නීතිය පසෙකින් තියලා පලිගැනීමේ චේතනාවෙන් මේ රටේ අපිට අභය ධානය දුන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාට විරුද්ධව දේශපාලන කුමන්ත්‍රණයක් කරලා එක දවසක් හරි එතුමාව අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙලක් යනවා නම් සමස්ථ රටේ ජාති දේදයකින්, ආගම් භේදයකින් තොරව රටේ විවිධ ආගමික නායකයින් වගේම බුද්ධාගමට ආදරය කරන බෞද්ධ රටක් වන අපේ රටේ මහා සංඝරත්නය ඇතුලු සමස්ථ රටේ ජනතාව රොද බැදගෙන 12 වෙනිදා මුළු කොළඹම වට දාන්නේ අපි ආරාධනා කරලා නෙවෙයි.
බත් කන ජනතාව මහින්ද මහත්තයව හිරේ දාන්න දවසක් හරි හිරේට දාන්න තීරණය කලොත් පක්ෂ පාට කුල මල භේදයෙන් මහින්ද රාජපක්ෂ කියන අසහාය නායකයා වෙනුවෙන් කොළඹට එනවා කියන කාරණාව හොදට හිතේ තියාගෙන මේ තීන්දු ගන්න කියන එක නැවතත් අවධාරණය කරනවා.”