දියවැඩියාවද? ගෙදරදිම සීනි චෙක් කරන ඔයාට විශේෂයි

Report

රුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළ යාම වර්තමානයේ ගෝලීය ලෙස සෞඛ්‍යයට දැඩි තර්ජනයක් එල්ල කර ඇති බෝනොවන රෝගයක් සේ සලකයි. ඒ අනුව ඉතා ක්ෂණිකව රුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළ පහළ යාම දියවැඩියා රෝගීන් දෛනිකව මුහුණ පාන විශාල ගැටලුවක් වේ.

එනිසා දියවැඩියාව ඇති රෝගීන්ට ඒ හා සම්බන්ධ සංකූලතා වළක්වා ගැනීමට සෞඛ්‍ය සම්පන්න රුධිර සීනි මට්ටමක් පවත්වා ගැනීම ඉතා වැදගත්.

එමෙන්ම රුධිර සීනි මට්ටම පාලනයකින් තොරව තබා ගත් විට, නිරන්තරයෙන් හෘද රෝග, වකුගඩු හානි සිදුකිරීම, ස්නායු හානි, තුවාල සුව නොවීම සහ පෙනීමේ ගැටලු ඇතිවීමේ අවදානම වැඩි බව වාර්තා වේ. තවද අධික රුධිර සීනි මට්ටම hyperglycemia ලෙස හඳුන්වන අතර එය අධික පිපාසය සහ නිතර මුත්‍රා කිරීම ඇති කරවයි.

එවැනි ක්ෂණික රෝග ලක්ෂණ ජීවිතයේ ගුණාත්මකභාවයට සැලකිය යුතු බලපෑමක් ඇතිකරන අතර එය දිගු කාලීන සංකූලතා ඇති කිරීමට ද සමත් වේ.

එසේම අඩු රුධිර සීනි මට්ටම (hypoglycemia) ව්‍යාකූලත්වය, කරකැවිල්ල සහ ක්ෂණික සිහි මුර්ජාව වැනි බරපතළ රෝග ලක්ෂණ ඇති කිරීමට සමත් වේ.

මේ හේතුවෙන් රුධිරයේ සීනි මට්ටම නිවැරදි පරාසයක තබා ගනිමින් දියවැඩියාව කළමනාකරණය කිරීම එම රෝගීන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම සහතික කිරීමට උපකාරී වෙයි.

දියවැඩියාවද? ගෙදරදිම සීනි චෙක් කරන ඔයාට විශේෂයි | Home Blood Sugar Testing For Diabetes Care

එසේම දිනපතා රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීම දියවැඩියා කළමනාකරණයේ අනිවාර්ය අංගයක් ද වේ. ඒ ඔස්සේ එම රෝගීන්ට තම රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටම සමීපව නිරීක්ෂණය කිරීමට සහ ඔවුන්ගේ ආහාර වේල, ශාරීරික ක්‍රියාකාරකම්, ඖෂධ සහ සමස්ථ ප්‍රතිකාර සැලැස්ම පිළිබඳව දැනුවත්ව තීරණ ගැනීමට ද හැකියාව ලැබෙන බව සඳහන්. ඊට අමතරව දිනපතා නිරීක්ෂණය කිරීම කාලයත් සමඟ රුධිරයේ සීනි මට්ටමේ අඩු වැඩි වීමේ රටා හඳුනා ගැනීමට ද එය උපකාරී වේ.

නිදසුනක් ලෙස ලෙස විවිධ ආහාර හෝ ක්‍රියාකාරකම් රුධිරයේ සීනි මට්ටමට බලපාන්නේ කෙසෙද යන්න නිවැරදිව දැනුම්වත් විය හැකි වේ.

ඒ අනුව රෝගය සඳහා අවශ්‍ය ප්‍රතිකාර ඵලදායී ආකාරයට ලබා දීමට සෞඛ්‍ය සේවා සපයන්නන්ට සහ වෛද්‍යවරුන්ට මෙම දත්ත ඉතා ප්‍රයෝජනවත් විය හැක.

ඔබේ රුධිරයේ සීනි මට්ටම නිවසේදී ම පරීක්ෂා කිරීම ඉතා සරල ක්‍රියාවලියකින් සිදුකර ගත හැකි වේ.

පළමුවෙන්ම නිවැරදි සීනි මට්ටම මැනීම සඳහා ග්ලූකෝමීටරයක් මිල දී ගත යුතුයි.

එය ක්‍රියාකරවන නිවැරදි ක්‍රියාවලිය සම්බන්ධයෙන් වෛද්‍ය සහ සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් මත දැනගත යුතුයි.

අනතුරුව එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් මනා දැනුමකින් යුක්ත විය යුතුයි.

දියවැඩියාවද? ගෙදරදිම සීනි චෙක් කරන ඔයාට විශේෂයි | Home Blood Sugar Testing For Diabetes Care

රුධිරයේ සීනි මට්ටම නිවසේදී පරීක්ෂා කරන්නේ කෙසේද?

දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයින් දිනපතා ඔවුන්ගේ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කළ යුතුයි.

ඔබේ රුධිරයේ සීනි මට්ටම නිවැරදිව කියවීම සඳහා, ඔබ මුලින්ම සබන් හා උණුසුම් ජලයෙන් ඔබේ අත් සේදිය යුතුයි.

රුධිර සීනි පරීක්ෂණය ආරම්භ කිරීමට පෙර අවශ්‍ය පරීක්ෂණ පටි සහ ඇඟිලි තුඩ සිදුරැ කරන කටුව සම්පූර්ණයෙන්ම වියළී ඇති බවට වග බලාගත යුතුයි.

ඉන්පසුව, ඔබේ ග්ලූකෝමීටරයට නව පරීක්ෂණ පටියක් ඇතුළත් කළ යුතු වේ.

ඉන් අනතුරුව ඔබේ අතේ එක් ඇඟිල්ලක තුඩ ග්ලූකෝමීටරයේ ඇති කුඩා කටුවෙන් සිදුරු කළ යුතුයි.

ඉන්පසු ඔබ ඇඟිලි තුඩෙන් එන කුඩා රුධිර ප්‍රමාණය පරීක්ෂණ තීරුවට උරා ගැනීමට සැලැස්විය යුතුයි.

එහිදී ග්ලූකෝමීටර විසින් රුධිරයේ ඇති සීනි මට්ටම ඉදිරිපත් කර‍යි. ඉන්පසු දිනය සහ වේලාව සමඟ දෛනිකව නිවැරදිව අදාළ දත්ත සටහන් කර ගත යුතුයි.

දියවැඩියාවද? ගෙදරදිම සීනි චෙක් කරන ඔයාට විශේෂයි | Home Blood Sugar Testing For Diabetes Care

සීනි මට්ටම පරීක්ෂා කිරීමේ දී වළක්වා ගත යුතු වැරදි

සමහර පොදු වැරදි ඔබේ රුධිර ග්ලූකෝස් මිනුමේ නිරවද්‍යතාවයට බලපෑ හැකිය.

සෑම විටම ග්ලූකෝමීටරයට සවිකරණ රුධිර පරීක්ෂණ පටි සහ ඇඟිලි තුඩ සිදුරු කරන කටු පිරිසිදු සහ සිසිල් වියළි ස්ථානයක තැබිය යුතුය.

ග්ලූකෝමීටරය ක්‍රියාකාරීත්වය මෙන්ම බැටරිය නිරන්තරයෙන් පරීක්ෂා කිරීම ඉතා වැදගත් වේ.

රුධිරයේ සීනි මට්ටම්වල නිශ්චිත රටා ග්‍රහණය කරගැනීම සඳහා පරීක්ෂණ කරන වේලාවන් (උදා: නිරාහාරව සිටීම, ආහාර ගැනීමෙන් පසු) මැනිය යුතුයි.

නිවැරදි පිළිවෙත් අනුගමනය කිරීමෙන් සහ රුධිරයේ සීනි මට්ටම නිතිපතා පරීක්ෂා කිරීමෙන්, දියවැඩියා රෝගීන්ට ඔවුන්ගේ තත්ත්වය වඩා හොඳින් කළමනාකරණය කර සංකූලතා ඇතිවීමේ අවදානම අඩු කළ හැකිය.

එමෙන්ම මෙම තොරතුරු ඔබට සාමාන්‍ය දැනුමක් පමණක් සපයන අතර රෝගී තත්ත්ව සඳහා සැමවිටම විශේෂඥයෙකු හෝ ඔබේම වෛද්‍යවරයාගේ සහාය අත්‍යවශ්‍ය බව සලක්න.  

ඔයාටත් දැන් දැන් මේ ඉඟි ලැබෙනවා නම් වකුගඩුවල තත්ත්වේ භයානකයි

ඔයාටත් දැන් දැන් මේ ඉඟි ලැබෙනවා නම් වකුගඩුවල තත්ත්වේ භයානකයි