මාරාන්තික වෛරසයක් හිස ඔසවයි - වැඩිම රෝගීන් පිරිමි පාර්ශවයෙන් - ජනතාවට අනතුරු ඇඟවීමක්
අද (13) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලිංගාශ්‍රිත රෝග පිළිබඳ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය පැවසුවේ මෙරටින් HIV වෛරසය වැළඳුණු රෝගීන් වාර්තා වීම වසරින් වසර වැඩි අගයක් ගන්නා බවයි.
මේ අතරින් කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලින් රොගීන් වාර්තා වීම වැඩි අගයක් ගන්නා බවත් පසුගිය 2023 වසරේ සිට මේ දක්වා කාලය තුළ ගත් විට HIV වෛරසය වැළඳුණු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවත් ඉන් පිරිමි පාර්ශ්වය අතර රෝගය වැළඳීම ඉහළ අගයක් ගෙන ඇති බවත් ඇය පැවසුවාය.
එමෙන්ම HIV වෛරසය වැළඳීම අනාරක්ෂිත ලිංගික සම්බන්ධකම් පැවැත්වීම ප්‍රධාන හේතුවක් වන බවත් මීට අමතරව අනාරක්ෂිත ලිංගික හැසිරීම් සහ මත්ද්‍රව්‍ය එන්නත් කිරීමේ ක්‍රම සඳහා එන්නත්කටු, සිරින්ජර් සහ වෙනත් උපකරණ හවුලේ භාවිතා කිරිම සහ බෙදාගැනීමත් හේතු වන පවා වාර්තා වේ.
මේ හේතුවෙන් HIV වෛරසය වැළඳීමෙන් පසු එය 100%ක් සුව කළ නොහැකි බවත් යම් අයෙකුට HIV වෛරසය වැළඳී ඇත්නම් ඔහු දීර්ඝ කාලීන සායනික ප්‍රතිකාර සහ අවශ්‍ය ප්‍රතිකාර ක්‍රම නිරන්තර ලබා ගත යුතු බවත් යම් අයෙකුට අඩු වයසකින් HIV වෛරසය වැළඳුණහොත් ඔහු හෝ ඇය ජීවිත කාලයටම ප්‍රතිකාර සහ ඖෂධ භාවිත කළ යුතු බවත් වාර්තා වේ.
වෛද්‍යවරිය තවදුරටත් පවසා සිටියේ HIV/STI සහ හෙපටයිටිස් ඇතුළු ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග හඳුනාගැනීමට සහ ව්‍යාප්තිය අවම කිරීමට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ජංගම සායන වැඩසටහනක් ක්‍රියාත්මක වන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන මඟින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන විශේෂ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වර්ෂයේ ජනවාරි මස ආරම්භ කර ඇති බවත් ජනගහණය සහ අවදානම් තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කර කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන බවත්ය.
එහිදී මහජනතාව අතරට ගොස් ඔවුන්ගේ කැමැත්ත සහ පෞද්ගලිකත්වය උපරිමයෙන් සුරැකෙන පරිදි නොමිලේ සේවා ලබාදීමට මෙහිදී කටයුතු යොදා ඇති බවද ඇය සඳහන් කළාය. එහිදී පරීක්ෂණ වාර්තාවල රහස්‍යභාවය සම්පූර්ණයෙන්ම සුරකින අතර, යම් හෙයකින් රෝගී තත්ත්වයක් හෝ ආසාදනයක් හඳුනාගතහොත් ඔවුන් සඳහා අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර නොමිලේ ලබාදීමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහන මඟින් සියලු කටයුතු යොදා ඇති බවද වෛද්‍යවරිය මෙහිදී සඳහන් කළාය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය,
"සමහර රටවල්වල HIV වැඩි වෙනවා සමහර රටවල්වල HIV අඩු වෙනවා. ශ්‍රී ලංකාවේ HIV වාර්තා වීම අඩු ප්‍රවනතාවයක් තිබුණාට වාර්තා වීම් තිබෙනවා. අපි රිපෝට් බැලුවාම හැම අවුරුද්දෙම එකතුවෙන රෝගීන් බැලුවාම සාමාන්‍යෙයන් වැඩියෙන් වැඩියෙන් එකතු වීගෙන එන්නේ. ඒ කියන්නේ 2023, 2024, 2025 ගත්තාම ටිකක් වැඩියෙන් එකතු වෙනවා. ඒ රිපෝට් බැලුවාම ඒ අතරින් බැලුවාම පිරිමි අය අතර ගැහැණු අය අතරට වඩා ටිකක් වැඩියෙන් පේනවා. ඒක බැලුවොත් අපි ගැහැණු පිරිමි සම්බන්ධයකින් බැලුවාම දෙකම සාමන වෙන්න ඕනේ. ඒ වුණාට මේක ගොඩක් වැඩි පිරිමි අය අතර මේක සමහර වෙලාවට අනාරක්ෂිත ලිංගික සම්බන්ධකමත් මීට හේතුවක් වෙන්න පුළුවන්. මේක අපි බැලුවාම ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ එකතු වෙන ගාණ වැඩියි. කොළඹ සහ ගම්පහ ගත්තාම වැඩි පිරිසක් ඉන්න ප්‍රදේශයක් ඒ නිසා අනිත් ප්‍රදේශ එක්ක ගත්තාම වැඩියෙන් වාර්තා වෙන්නේ ඒ ප්‍රදේශවලින්."