හිටපු ඇමති ෆවුසිට එරෙහි පෙත්සමේ විභාගය අවසන් - තීන්දුව ප්‍රකාශයට සූදානම්
ආපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්ත රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබූ වාහනයක් පෞද්ගලික භාවිතයට යොදාගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (23) අවසන් කරන ලදී.
පෙත්සම විභාගය නිම කිරීමෙන් පසු අධිකරණය නියෝග කළේ එහි අවසන් තීන්දුව පසුව ප්‍රකාශයට පත් කරන බවයි.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම විභාගයට ගැණිනි.
පෙත්සම්කරු පෙන්වා දී තිබුණේ නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ කටයුතු සඳහා ලබාදුන් සුඛෝපභෝගී වාහනය හිටපු අමාත්‍යවරයා විසින් සිය පෞද්ගලික අවශ්‍යතා සඳහා අනිසි ලෙස භාවිත කර ඇති බවයි.
මෙම ක්‍රියාව මගින් මහජන දේපළ අවභාවිත කරමින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා විසින් මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණි.