ආපදා තත්ත්වයට මුහුණදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හදිසි චක්‍රලේඛයක් නිකුත් කෙරේ

Report

දිවයිනේ දැනට බලපෑම් එල්ල වී ඇති හදිසි කුණාටු ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ හදිසි ප්‍රතිචාර ක්‍රමවේදයක් දියත් කර තිබේ.

ඒ අනුව අද (28) සිට ලබන දෙසැම්බර් 04 වැනිදා දක්වා සතියක කාලයක් සෞඛ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ අත්සනින් යුත් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

මෙමගින් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා අද (28) සිට නැවත දැනුම්දෙන තුරු නිවාඩු අවලංගු කර ඇති අතර සියලු රෝහල් අධ්‍යක්ෂකවරු හා ආයතන ප්‍රධානීන් රෝගී සත්කාර සේවා අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක කළ හැකි වන පරිදි රෝහල් කාර්ය මණ්ඩලය සේවයට කැඳවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් එහි සඳහන්ව තිබේ.

එමෙන්ම ආපදාවලට ලක්වන ප්‍රදේශවල රෝහල්හී දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් වෛද්‍ය නිර්දේශ මත මුදාහළ හැකි සහ ආපදාවකින් තොරව සිය නිවෙස් කරා හා හැකි රෝගීන් නිදහස් කිරීමට පියවර ගත යුතු බවත් ආපදාවලට ලක්වන ප්‍රදේශයන්හී රෝහලහී අවදානම් ගොඩනැගිලිවල පිහිටි වෛද්‍ය උපරකණ, රෝගී සත්කාර අංශ ආරක්ෂිත ස්ථානවල කඩිනමින් ස්ථානගත කිරීමට පියවර ගත යුතු බවත් එමගින් දන්වා ඇත.

තවද රෝහල්වලට අවශ්‍ය ඖෂධ, වෛද්‍ය වායු ආදිය හිඟයකින් තොරව පවත්වාගැනීම සඳහා අදාළ ආයතන සම්බන්ධීකරණය කර ගැනීම මෙන්ම රෝහලේ ඇතිවිය හැකි හදිසි තත්ත්වයන් සලකා බලා දැඩි සත්කාර ඒකකවල රෝගීන් හා අසාධ්‍ය රෝගීන් ආසන්න රෝහල් සමග සාකච්ඡා කර මාරු කර ගැනීම සඳහා පූර්ව වැඩපිළිවෙළක් සකස් කර ගත යුතු බවත් එමගින් දන්වා තිබේ.