හැරී පොටර් ප්‍රකාශකයාට AI සමාගමෙන් හම්බෙන ඩොලර් මිලියන ගණනක වන්දියේ කතාව මෙන්න
Harry Potter ග්‍රන්ථ මාලාව ප්‍රකාශයට පත් කළ බ්‍රිතාන්‍යයේ Bloomsbury ප්‍රකාශන ආයතනයට, කෘතිම බුද්ධි (AI) සමාගමක් වන Anthropic සමඟ ඇති කරගත් කර්තෘ හිමිකම් ගිවිසුමක් හරහා ඩොලර් මිලියන 19කට ආසන්න මුදලක් ලැබීමට නියමිත බව වාර්තා වේ.
Anthropic සමාගමට එරෙහිව පැවති කර්තෘ හිමිකම් නඩුවකදී ඇති කරගත් ඩොලර් බිලියන 1.5ක සමථ ගිවිසුමේ ප්‍රතිලාභ ලබන ආයතනයක් ලෙස Bloomsbury ප්‍රකාශන ආයතනය හඳුනාගෙන තිබේ.
Anthropic සමාගම නිර්මාණය කළ Claude නම් AI පද්ධතිය පුහුණු කිරීම සඳහා අවසරයකින් තොරව කර්තෘ හිමිකම් සහිත පොත් භාවිත කළ බවට චෝදනා එල්ල වී තිබිණි. Bloomsbury ආයතනය යටතේ Harry Potter කතුවරිය J.K. Rowling ඇතුළු ජනප්‍රිය ලේඛකයන් වන Sarah J. Maas සහ Susanna Clarkeගේ පොත්ද ප්‍රකාශයට පත් කර ඇත.
අධිකරණය හඳුනාගත් Bloomsbury ආයතනයට අදාළ පොත් 14,087ක් සඳහා එක් පොතකට ඩොලර් 3,000ක පමණ වන්දි මුදලක් ගෙවීමට යෝජනා කර ඇති අතර, එම මුදල කතුවරයා සහ ප්‍රකාශකයා අතර බෙදා ගැනීමට නියමිතය.
නීතිඥ ගාස්තු සහ අනෙකුත් වියදම් සඳහා මුදලින් සියයට 10ක් පමණ අඩු කිරීමෙන් පසු අදාළ පාර්ශ්ව වෙත වන්දි මුදල් ලබාදීමට නියමිත බව සඳහන් වේ.
මෙම ගිවිසුම එක්සත් ජනපද ෆෙඩරල් අධිකරණ විනිසුරුවරයකු විසින් අනුමත කර ඇති අතර, AI සමාගමක් සම්බන්ධ කර්තෘ හිමිකම් ගැටලුවකදී වාර්තා වූ විශාලතම වන්දි ගෙවීම් අතරින් එකක් ලෙස මෙය සැලකේ.
කෙසේ වෙතත්, Anthropic සමාගම තමන් වරදක් කළ බව පිළිගෙන නොමැති අතර, පොදු දත්ත AI පුහුණුව සඳහා භාවිත කිරීම නීතියෙන් අවසර ඇති බවට සමාගම පෙන්වා දී ඇත. AI පද්ධති පුහුණු කිරීම සඳහා කර්තෘ හිමිකම් සහිත පොත් සහ වෙනත් අන්තර්ගත භාවිත කිරීම සම්බන්ධයෙන් ලොව පුරා තවදුරටත් නීතිමය ගැටලු මතුවෙමින් පවතින අතර, ඒ සම්බන්ධ නීති තවමත් සම්පූර්ණයෙන් පැහැදිලි වී නොමැත.