'හරක් කටා' ඇතුළු විත්තිකරුවන්ට සහනයක් - ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ චෝදනා ඉවතට

Report

සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති චෝදනා පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී එම ස්ථානයෙන් පලායාමට කුමන්ත්‍රණය කළ බවට චූදිතයන්ට එරෙහිව අදාළ චෝදනා ගොනුකර තිබුණි.

කෙසේ වෙතත්, චූදිතයන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් සලකා බැලීමේදී, දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගොනුකර ඇති චෝදනා පවත්වාගෙන යාමට බාධාවක් නොමැති බව කොළඹ මහාධිකරණ නියෝගයේ සඳහන් වේ.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා, නීතිඥ ජාලිය සමරසිංහ ඇතුළු නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා මෙම නියෝගය ප්‍රකාශයට පත් කළ බව වාර්තා වේ.