මොණරාගලට දැඩි වියළි කාලගුණයක්- හඳපානාගල ජලාශයේ ජල මට්ටම වසර ගණනාවකට පසු ශීඝ්‍රයෙන් පහළට

Report

මොණරාගල දිස්ත්‍රික්කයට මේ දිනවල බලපා ඇති දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ කුඩා වැව් සහ ජල උල්පත් රැසක් සිඳී ගොස් ඇති අතර, ප්‍රධාන ජලාශවලද ජල මට්ටම් ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින බව වාර්තා වේ.

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හඳපානාගල ජලාශය මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධානතම ජලාශවලින් එකක් වන අතර, මේ වන විට එහිද ජල මට්ටම සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ.

ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය අඩුවීමත් සමඟ ජල මට්ටම වේගයෙන් පහළ යමින් පවතින බව සඳහන් වේ. වසර ගණනාවකට පසු හඳපානාගල ජලාශයේ ජල මට්ටම මෙතරම් පහළ ගොස් ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

ජල මූලාශ්‍ර සිඳී යාමත් සමඟ ප්‍රදේශයේ ජනතාවට මෙන්ම කෘෂිකාර්මික කටයුතු සඳහාද ඉදිරියේදී දැඩි බලපෑම් එල්ල විය හැකි බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.