මේ වසරේ හජ් වන්දනාවට ලියාපදිංචි වුණාද? බැතිමතුන්ට දැනුවත් කිරීමක්
මේ වසරේ හජ් වන්දනාව වෙනුවෙන් බැතිමතුන් 3500 දෙනකුට පමණක් සහභාගී වීමට කෝටාවක් ලැබී තිබියදී මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව බැතිමතුන් 7 000 ක් ලියාපදිංචි කර ඔවුන්ගෙන් ආපසු නොගෙවන රුපියල් 5 000 බැගින් වන මුදලක් ලබා ගෙන ඇති බවට බැතිමත්තු චෝදනා කරයි.
ඒ අනුව සෑම හජ් වන්දනාකරුවෙක්ම මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමට රුපියල් 5000 ක ආපසු නොගෙවන ලියාපදිංචි ගාස්තුවක් ගෙවිය යුතු බව සඳහන්.
හජ් වන්දනාවට අවස්ථාව අහිමි වූ 3500 පමණ වන වන්දනාකරුවන්ගෙන් එම දෙපාර්තමේන්තුව රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් උපයා ගෙන ඇති බව ද සඳහන්.
මේ සම්බන්ධයෙන් මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මොහොමඩ් නවාස් මහතාගෙන් කළ විමසුමකදී ඔහු කියා ඇත්තේ ලියාපදිංචි ගාස්තුව ලෙස අයකරන රුපියල් 5000 මුදල යළි නොගෙවන එකක් බවයි.
ඒ අනුව බැතිමතුන් 3500 දෙනෙකුට පමණක් කෝටාවක් ලැබී තිබියදී වැඩිපුර සංඛ්‍යාවක් ලියාපදිංචි කර ගැනීමේ අරමුණ වන්නේ වන්දනාවට අවස්ථාව හිමිවූ යම් පිරිසකට හජ් වන්දනාව සඳහා යෑමට හදිසියේ නොහැකි තත්ත්වයක් උදා වුවහොත් තවත් පිරිසකට එම අවස්ථාව ලබාදීම සඳහා බවද නවාස් මහතා කියා ඇත.
එසේම මේ වසරේ හජ් වන්දනාවේ යෑමට නොහැකි පිරිසේ ලියාපදිංචි ගාස්තුව අවශ්‍ය නම් ඊළඟ වසරේ ලියාපදිංචි සඳහා යොදාගත හැකි බවද ඔහු පවසා ඇත.
ඊට අමතරව හජ් කමිටුවේ සභාපති රියාස් මිහ්ලාර් මහතාගෙන් කළ විමසුමේදි ඔහු ප්‍රකාශ කළේ සෑම වසරකම කෝටාවට වඩා වැඩි පිරිසක් ලියාපදිංචි කිරීම සිදුකරන බවයි.
එමෙන්ම වන්දනාව අහිමිවු පුද්ගලයන්ගෙන් කොපමණ මුදලක් ලියාපදිංචි ගාස්තු වශයෙන් අයකරගෙන ඇත්දැයි සොයාබලන බවද ඔවුන්ට සාදාරණය ඉටුකරන බවද ඔහු පවසා ඇත.