හයිටියේ සන්නද්ධ කල්ලි ප්‍රහාරයකින් 47 දෙනෙකු මරුට- එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් වාර්තාවක්.
හයිටියේ අගනුවර වන පෝට්-ඕ-ප්‍රින්ස් ආසන්නයේ කෙන්ස්කොෆ් ප්‍රදේශයට එල්ල වූ කල්ලි ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 47 දෙනෙකු මියගොස් තවත් 22 දෙනෙකු තුවාල ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එක්සත් ජාතීන්ගේ හයිටියේ ඒකාබද්ධ කාර්යාලය සඳහන් කර ඇත්තේ මරණ සහ තුවාල පිළිබඳ සංඛ්‍යාලේඛන තවදුරටත් වෙනස් විය හැකි බවයි.
අගනුවරට පිවිසෙන ප්‍රධාන මාර්ගවලට ඉහළින් පිහිටි උපායමාර්ගික කඳුකර ප්‍රදේශයක් වන කෙන්ස්කොෆ් පසුගිය වසරේ සිට සන්නද්ධ කල්ලිවල ප්‍රහාර රැසකට මුහුණ දී තිබේ. එම ප්‍රහාර හේතුවෙන් දහස් ගණනකට සිය නිවාස අතහැර පලා යාමට සිදුව ඇත.
එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවලට අනුව, 2025 වසරේ මුල් මාස දෙක තුළ පමණක් කෙන්ස්කොෆ් ප්‍රදේශයේ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පුද්ගලයින් 260කට වැඩි පිරිසක් මියගොස් තිබේ.
එම කාලය තුළ නිවාස 200කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී හෝ ගිනි තබා ඇති අතර පුද්ගලයින් 3,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇත.
රාත්‍රී 10.30ට පමණ ආරම්භ වූ නවතම ප්‍රහාරයෙන් පුද්ගලයින් 30ත් 40ත් අතර පිරිසක් මියගොස් තවත් 15ත් 20ත් අතර පිරිසක් තුවාල ලබා ඇති බව හයිටි මානව හිමිකම් සංවිධානයක් වන RNDDH මුලින් ඇස්තමේන්තු කර තිබුණි.
ප්‍රහාරය සම්බන්ධයෙන් හයිටි රජය දැඩි විරෝධය පළ කරමින් එය “නීච ප්‍රහාරයක්” ලෙස හඳුන්වා ඇති අතර, ආරක්ෂාව තර කිරීමට පියවර ගන්නා බවට ද ප්‍රතිඥා දී තිබේ.
කෙසේ වෙතත්, ප්‍රදේශවාසීන් චෝදනා කර ඇත්තේ පොලිස් ස්ථානයට ආසන්නව සිදුවූ ප්‍රහාරයෙන් ජනතාව ආරක්ෂා කිරීමට පොලිසිය අසමත් වූ බවයි. මේ හේතුවෙන් ප්‍රාදේශීය පොලිස් ප්‍රධානියා ඉල්ලා අස්විය යුතු බවට ද ඔවුන් ඉල්ලා තිබේ.
කෙන්ස්කොෆ්හි ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ස්ත්‍රී දූෂණ, පැහැරගැනීම්, ගිනි තැබීම් සහ පශු සම්පත් සොරකම් ඇතුළු අපරාධ රැසක් වාර්තා වී ඇත. කෙන්ස්කොෆ්හි පිහිටීම හේතුවෙන් එම ප්‍රදේශය විශේෂයෙන් උපායමාර්ගික වැදගත්කමක් දරයි.
එය තානාපති කාර්යාල, සුඛෝපභෝගී හෝටල් සහ රජයේ තාවකාලික මූලස්ථානය පිහිටි පෙටියන්-විල් වෙත යන මාර්ග මෙන්ම, අගනුවර සිට දකුණු හයිටියට දිවෙන ප්‍රධාන මාර්ගයක් ද නිරීක්ෂණය කළ හැකි ස්ථානයකි.
හයිටියේ අඛණ්ඩව වර්ධනය වන කල්ලි ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ලබන දෙසැම්බර් මාසයේදී වසර ගණනාවකට පසු පැවැත්වීමට අපේක්ෂිත මැතිවරණය සම්බන්ධයෙන් ද නව අවිනිශ්චිතතාවක් මතුව තිබේ. කල්ලිවලට එරෙහිව සටන් කිරීම සඳහා හයිටි පොලිසියට සහාය වීමට එක්සත් ජාතීන්ගේ සහාය ඇතිව ක්‍රියාත්මක වන බහුජාතික බලකාය මෙම සරත් සමයේදී භටයින් 5,500කට වැඩි සංඛ්‍යාවක් දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.