ඓතිහාසික ග්‍රනාඩා නගරය සලිත කළ භූචලනය- අල්හම්බ්‍රා මාලිගයත් තාවකාලිකව වසා දමයි
දකුණු ස්පාඤ්ඤයේ ග්‍රනාඩා නගරය ආසන්නයේ සිදුවූ භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර, ගොඩනැගිලි සහ වාහන රැසකටද හානි සිදුව තිබේ.
අඟහරුවාදා අලුයම සිදුවූ මෙම භූමිකම්පාව රිච්ටර් මාපකයේ 4.8ක ප්‍රබලත්වයක් සටහන් කර ඇති බව ස්පාඤ්ඤ ජාතික භූගෝලීය ආයතනය (IGN) පවසයි. භූමිකම්පාවේ කේන්ද්‍රය ඓතිහාසික ග්‍රනාඩා නගරයට කිලෝමීටර් 10ක් පමණ දකුණින් පිහිටි ඇල්හෙන්ඩින් ප්‍රදේශය ආසන්නයේ බව සඳහන් වේ.
කිලෝමීටර් 10කට අඩු නොගැඹුරු ගැඹුරකින් සිදුවූ මෙම කම්පනයත් සමඟ ප්‍රබල පසු කම්පන ඇතිවේ යැයි බියෙන් බොහෝ ප්‍රදේශවාසීන් සිය නිවෙස්වලින් ඉවත්ව වීදිවලට පැමිණ තිබේ.
ගොඩනැගිලිවලින් කඩා වැටුණු සුන්බුන් හේතුවෙන් වාහන කිහිපයකට හානි සිදුව ඇති අතර, ආරක්ෂිත පියවරක් ලෙස කෞතුකාගාර, පරිපාලන ගොඩනැගිලි සහ ක්‍රීඩා මධ්‍යස්ථාන කිහිපයක් වසා දැමීමටද බලධාරීන් පියවර ගෙන තිබේ.
IGN ආයතනය පවසන්නේ පසුගිය සිකුරාදා සිට මෙම ප්‍රදේශයෙන් වාර්තා වන නොගැඹුරු භූමිකම්පා මාලාවේ නවතම සහ ප්‍රබලතම කම්පනය මෙය බවයි. භූමිකම්පාවෙන් ග්‍රනාඩා නගරයේ තම බිම් මහල දැඩි ලෙස සෙලවෙන බව දැනුණු බව ප්‍රදේශවාසියෙකු වන ඇල්ෆොන්සෝ මල්පිකා පවසා තිබේ.
ඔහු එය තමන් සාමාන්‍යයෙන් අත්විඳින සුළු භූමිකම්පා වලට වඩා ප්‍රබල වූ බව සඳහන් කර ඇත. ග්‍රනාඩාහි සුපිරි වෙළඳසැලක සිටි ක්‍රිස්ටිනා රුයිස් ලෝපෙස් ද භූමිකම්පාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් එය ඉතා බියකරු අත්දැකීමක් වූ බව පවසා තිබේ.
මේ අතර, ලොව පුරා සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක්වන ග්‍රනාඩාහි සුප්‍රසිද්ධ අල්හම්බ්‍රා මාලිගයද ආරක්ෂිත පියවරක් ලෙස එදින පස්වරුවේ වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.
මධ්‍යතන යුගයේ ඉස්ලාමීය ගෘහනිර්මාණ ශිල්පයට අයත් මෙම ස්ථානය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. එමෙන්ම, ග්‍රනාඩා මෙට්‍රෝ සේවයද ආරක්ෂිත හේතූන් මත දුම්රියවල වේගය පැයට කිලෝමීටර් 30 දක්වා අඩු කර ඇති අතර, එමඟින් සේවාවන්හි ප්‍රමාදයන් ඇතිවිය හැකි බවට දැනුම් දී තිබේ.