රජයේ බදු ආදායම වාර්තාගත ලෙස ඉහළ ගොස් රු. ට්‍රිලියන 2.71 ඉක්මවයි

Report

වසරේ මුල් මාස හයේ රජයේ බදු ආදායම රු. ට්‍රිලියන 2.71 ඉක්මවයි 2026 වසරේ ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ රජයේ සමස්ත බදු ආදායම රුපියල් ට්‍රිලියන 2.71ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය වසරේ අනුරූප කාලයට සාපේක්ෂව සියයට 25.9ක වර්ධනයක් බව රාජ්‍ය මූල්‍ය සමාලෝචන වාර්තාව පෙන්වා දෙයි.

මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ 2026 ජනවාරි–ජුනි කාලසීමාවට අදාළ වාර්තාවට අනුව, එම මාස හය තුළ රජයේ සමස්ත ආදායම සහ ප්‍රදාන රුපියල් ට්‍රිලියන 2.956ක් දක්වා සියයට 27කින් ඉහළ ගොස් තිබේ.

රටම බලන් සිටි අස්වැසුම වැඩිහිටි දීමනාව ගැන දැනුම්දීමක් - අද සිට බැංකු ගිණුම්වලට

රටම බලන් සිටි අස්වැසුම වැඩිහිටි දීමනාව ගැන දැනුම්දීමක් - අද සිට බැංකු ගිණුම්වලට

ඒ සමඟ 2025 වසරේ එම කාලයේ වාර්තා වූ රුපියල් බිලියන 405.6ක අයවැය හිඟය වෙනුවට මෙවර රුපියල් බිලියන 9.5ක අතිරික්තයක් වාර්තා වී ඇත. වාර්තාවට අනුව, රාජ්‍ය ආදායම සැලකිය යුතු ලෙස ඉහළ යාම සහ රාජ්‍ය වියදම් විධිමත්ව පාලනය කිරීම මෙම අතිරික්තයට ප්‍රධාන හේතු වී තිබේ.

2026 වසර සඳහා රජය අපේක්ෂා කරන සමස්ත බදු ආදායම් ඉලක්කය රුපියල් ට්‍රිලියන 4.91කි. එයින් සියයට 55.2ක් පළමු මාස හය තුළම සපුරා ගැනීමට හැකි වී ඇති බව වාර්තාව සඳහන් කරයි.

බදු ආදායමෙන් වැඩිම දායකත්වය ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා රේගුවයි. එම ආයතනය රුපියල් බිලියන 1,290ක ආදායමක් රැස්කර ඇති අතර, එය සමස්ත බදු ආදායමෙන් සියයට 48කට ආසන්න ප්‍රමාණයකි.

දෙවැනි විශාලතම දායකත්වය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ලැබී ඇති අතර, එමඟින් රුපියල් බිලියන 1,248ක ආදායමක් උපයා තිබේ. එය සමස්ත බදු ආදායමෙන් සියයට 46ක් වේ.

සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 138ක ආදායමක් රැස්කර ඇති අතර, අනෙකුත් බදු ආදායම් මාර්ගවලින් රුපියල් බිලියන 35ක් එකතු වී ඇත. රේගු ආදායම අතරින් ප්‍රධානතම ආදායම් මූලාශ්‍රය වූයේ ආනයන මත අය කරන එකතු කළ අගය මත බද්ද (VAT) වන අතර, එමඟින් රුපියල් බිලියන 443.7ක ආදායමක් ලැබී තිබේ.

එය 2025 වසරේ එම කාලයේ වාර්තා වූ රුපියල් බිලියන 354ට සාපේක්ෂව සියයට 25ක වර්ධනයකි. මෝටර් රථ ආනයනය මත අය කළ බදු ආදායමද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

එම ආදායම රුපියල් බිලියන 129.1ක සිට රුපියල් බිලියන 266.4ක් දක්වා, එනම් සියයට 106.5කින් වර්ධනය වී ඇත. රේගුව විසින් රැස්කරන සමස්ත බදු ආදායමෙන් සියයට 63ක්ම මෝටර් රථ ආනයනය සම්බන්ධ බදු මඟින් ලැබී ඇති බව වාර්තාවේ දැක්වේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම ආදායම් මූලාශ්‍රය වූයේ ආදායම් බද්දයි. එමඟින් රුපියල් බිලියන 568.4ක ආදායමක් රැස්කර ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 16ක වර්ධනයකි.

සමාගම් ආදායම් බද්ද සියයට 26කින් ඉහළ ගොස් ඇති අතර, පුද්ගල ආදායම් බද්ද සියයට 15කින් වර්ධනය වී තිබේ. දේශීය ආර්ථික ක්‍රියාකාරකම් මත අය කරන VAT ආදායම සියයට 26කින් සහ සමාජ ආරක්ෂණ දායක බද්ද සියයට 15කින් ඉහළ ගොස් ඇති බවද වාර්තාව සඳහන් කරයි.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මත්පැන් මත අය කළ සුරාබදු ආදායමද සියයට 27කින් වර්ධනය වී රුපියල් බිලියන 137.5ක් දක්වා ඉහළ ගොස් ඇත. බදු නොවන ආදායමද සියයට 43.6කින් වර්ධනය වී රුපියල් බිලියන 243.6ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අනෙක් අතට, සමස්ත රාජ්‍ය වියදම සියයට 7.9කින් ඉහළ ගොස් රුපියල් ට්‍රිලියන 2.95කට ආසන්න වී ඇත. පුනරාවර්තන වියදම් සියයට 6.5කින් සහ ප්‍රාග්ධන වියදම් සියයට 23.6කින් ඉහළ ගොස් ඇති අතර, පොලී ගෙවීම් සියයට 2කින් පහළ ගොස් රුපියල් බිලියන 1,234.6ක් දක්වා අඩු වී තිබේ.

එමෙන්ම, 2026 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.1කින් වර්ධනය වී ඇති බවද, එය 2025 වසරේ පළමු කාර්තුවේ වාර්තා වූ සියයට 4.7ක වර්ධනයට වඩා ඉහළ අගයක් බවද රාජ්‍ය මූල්‍ය සමාලෝචන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.  

අදින් පසු දෙසැම්බර් 31 තෙක් සියලු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල මෙය ක්‍රියාත්මකයි - QR කේතයකුත් ලබා දෙයි

අදින් පසු දෙසැම්බර් 31 තෙක් සියලු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල මෙය ක්‍රියාත්මකයි - QR කේතයකුත් ලබා දෙයි