අර්තාපල් ගොවීන්ට හෙට සිට විශේෂ වැඩපිළිවෙළක් - කිලෝවක් රුපියල් 220කට මිලට ගන්න සැරසෙයි
දේශීය අර්තාපල් අස්වැන්න සාධාරණ මිලකට මිලදී ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් හෙට (10) දින සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ එම ගොවීන් මුහුණ දෙන අලෙවිකරණ ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාදෙමින්.
ඒ අනුව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 220කට මිලදී ගැනීම නුවරඑළිය බ්ලැක්පූල් ප්‍රදේශයේ පිහිටි, සී/ස නුවරඑළිය කෘෂිකර්ම සමුපකාර සමිතියේ මිලදී ගැනීමේ මධ්‍යස්ථානයේදී ආරම්භ කරන බවයි.
එසේ මිලදී ගන්නා දේශීය අර්තාපල් ලංකා සතොස ඔස්සේ පාරිභෝගිකයාට සහන මිලකට ලබාදීමට කටයුතු යොදා ඇති බවද සඳහන්.
එමෙන්ම එක් ගොවියෙකුගෙන් අර්තාපල් කිලෝ 1,000ක උපරිමයකට යටත්ව මෙම මිලදී ගැනීම සිදු කරන බව අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
එබැවින් ගොවීන්ට සිය අස්වැන්න වෙනුවෙන් සාධාරණ මිලක් ලබාදීමටත්, පාරිභෝගිකයාට සහන මිලට දේශීය අර්තාපල් ලබාදීමටත් රජය සහ පෞද්ගලික අංශයේ වෙළෙඳ ජාලයන් ද එක්ව මෙම කටයුතු සිදු කරන බව වාර්තා වේ.