ආණ්ඩුව බලයෙන් පිස්සුව තද වෙලා ඉන්නෙ - නාමල් රාජපක්ෂ
වත්මන් ආණ්ඩුව බලයෙන් "උන්මත්තක" තත්ත්වයකට පත්ව ඇති බවත්, එහි ප්‍රතිවිපාක ඉදිරියේදී ආණ්ඩුවටම අත්විඳීමට සිදුවනු ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (30) කොළඹ මහාධිකරණයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
"දැන් ආණ්ඩුවේ පිස්සුව හොඳටම තද වෙලා තියෙන්නේ. බලයෙන් උන්මත්තක වෙලා තියෙනවා. මන්ත්‍රීවරු 159ක් සහ ජනාධිපතිවරයාගේ බලතල තිබියදීත් ඒවා දරාගන්න බැරි තත්ත්වයකට පත්වෙලා. ඒ නිසා උඩ නැගලා ඉන්නේ. බිමේ ගැඹුර දන්නේ නැතිව පනිනවා. පැනලා බලනකොට තමයි කොච්චර ගැඹුරකට වැටිලාද කියලා තේරෙන්නේ. ආණ්ඩුව කැමති නම් පනින්න. කොතනින් නතර වෙයිද කියලා එවිට තේරේවි"
යැයි ඔහු සඳහන් කළේය.
පැරණි නඩු කිහිපයක් සම්බන්ධයෙන් තමන් නියමිත පරිදි අධිකරණයට පෙනී සිටින බව පැවසූ රාජපක්ෂ මහතා, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ විශ්වාසය පවතින නමුත් පොලීසිය සම්බන්ධයෙන් එවැනි විශ්වාසයක් නොමැති බවද කියා සිටියේය.
වත්මන් අගවිනිසුරුවරයාගේ ධුර කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් පවතින සාකච්ඡා ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති බවට චෝදනා කළ ඔහු, අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට ආණ්ඩුව බලපෑම් එල්ල කරමින් සිටින බවද ප්‍රකාශ කළේය. එමෙන්ම ශ්‍රී ලංකා පොලීසිය දේශපාලනිකරණයට ලක්ව ඇති බවටද ඔහු චෝදනා කළේය.
ව්‍යවස්ථා සංශෝධන පුද්ගලයන් ඉලක්ක කරගෙන සිදු නොකළ යුතු බව අවධාරණය කළ නාමල් රාජපක්ෂ මහතා, ඉතිහාසයේ සිදුකළ එවැනි සංශෝධන නැවත නැවත වෙනස් කිරීමට සිදුවූ බව පෙන්වා දුන්නේය. වත්මන් ආණ්ඩුවද එක් පුද්ගලයෙකු ඉලක්ක කරමින් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට උත්සාහ කරන බවත්, ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත යුතු බවත් ඔහු සඳහන් කළේය.
රටේ ජනතාව දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දී සිටින බවත්, ජීවන වියදම ඉහළ යාම, ගොවීන් හා ධීවරයන් මුහුණ දෙන ගැටලු සහ බදු බර පිළිබඳව ආණ්ඩුව අවධානය යොමු කළ යුතු බවත් ඔහු පැවසීය. එවැනි ගැටලු පසෙක තබා ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බවටද නාමල් රාජපක්ෂ මහතා චෝදනා කළේය.