“රූපවාහිනි නාළිකා බලපත්‍ර අහෝසි කිරීමට ආණ්ඩුවට බලයක් නැහැ” - ජී.එල්
සාධාරණ හේතුවක් නොමැතිව පටු දේශපාලන අරමුණු වෙනුවෙන් රූපවාහිනි නාළිකාවල බලපත්‍ර අහෝසි කිරීමට ආණ්ඩුවකට කිසිදු බලයක් නොමැති බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
මාධ්‍ය නිදහස සහ මහජන සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මෙසේ ප්‍රකාශ කළේය.
“මේ බලපත්‍ර දෙන්නේ තාවකාලිකව. කොන්දේසිවලට යටත්ව. ඒවා උල්ලංඝණය කරනවා නම් ඒවා අහෝසි කිරීමේ බලය ඇමැතිවරයාට තිබෙන බව ආණ්ඩුවේ ඇතැමුන් කියනවා. ඒක සම්පූර්ණයෙන් වැරැදියි. නීතිය ඒක නෙවෙයි. ඒ බලය තිබෙන්නේ අධිකරණයට. අනෙක් අතට වරදක් වෙලා නම් නාළිකාවට හෝ මාධ්‍ය ආයතනයට පිළිතුරු දෙන්න අයිතිය තිබෙනවා. ඒ ගැන සාධාරණ අපක්ෂපාතී විමර්ශනයක් කළ යුතුයි. සාක්ෂි තිබිය යුතුයි.
රජයට අප්‍රසන්න අහිතකර දෙයක් විකාශනය වන නිසා පළිගැනීමක් හැටියට ඒ නාළිකාව නිශ්ශබ්ද කිරීමේ අරමුණෙන් බලපත්‍රය අහෝසි කරන්න කිසිසේත්ම පුළුවන්කමක් නෑ. ඒක ඒ මාධ්‍ය ආයතනයේ අයිතිවාසිකමක් නෙවෙයි. ජනතාවගේ අයිතිවාසිකමක්. මෙවැනි දේ ගැන ඇත්ත දැනගැනීමට රටේ ජනතාවට සම්පූර්ණ අයිතියක් තිබෙනවා. මේ කතාකරන්නේ මහජන සෞඛ්‍ය ගැන.
අද වනවිට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට සිදුව ඇති මරණ සම්බන්ධයෙන් පැමිණිලි දෙකක් ලැබී තිබෙනවා. පවුලේ සාමාජිකයන් මේ මරණ සැක බව කියනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබෙනවා. මේ ගැන විධිමත් පරීක්ෂණයක් කරන්නැයි ඔවුන් ඉල්ලනවා. ඇත්ත වශයෙන්ම මෙවැනි දේ වාර්තා කිරීම මාධ්‍ය ආයතනවල අයිතිවාසිකමක් නෙවෙයි. යුතුකමක්.
මහජන සෞඛ්‍ය ගැන කරුණු නොසඟවා වාර්තා කිරීම මූලික යුතුකමක්. අභියාචනාධිකරණයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ මහජන භාරය ගැන කියැවෙන නඩු තීන්දු ඕනෑ තරම් තියෙනවා. මාධ්‍ය නිදහසට බලපාන කරුණු සම්බන්ධයෙන් විශේෂ උනන්දුවෙන් ක්‍රියා කිරීම එහි පැහැදිලිව කියනවා. එවැනි දේ මානව හිමිකම්.
ඒවා සුරක්ෂිත කිරීමට අධිකරණයත් බැඳී සිටිනවා. සාධාරණ හේතුවක් නැතිව පටු දේශපාලන අරමුණු වෙනුවෙන් බලපත් අහෝසි කිරීමට ආණ්ඩුවක් ක්‍රියා කරනවා නම් ඒ වැඩපිළිවෙළ නිශේධ කර ඒ බලපත ආයතනයට ලබාදීමෙන් නොනැවතී වන්දි ලබාදීමට පවා කටයුතු කළ යුතුයි. මේ නීතියෙන් කිසිම අගතියක් කරන්න බෑ”