නීතිපතිගෙන් බිඳුණු බෝම්බය - පදිංචිකරුවන් පනත යළි සමාලෝචනයට

Report

පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත යළි සලකා බැලීමට රජය තීරණය කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් මෑතකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත 2025 පිළිබඳව අදහස් හා යෝජනා රැස්කිරීම සඳහා මාසයක කාලයක් ලබා දී ඇති බවත්, එය විශේෂඥ කමිටුවක් විසින් පුළුල් සමාලෝචනයකට ලක් කරන බවත්, ඉන්පසු සංශෝධිත අනුවාදයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

මෙම තොරතුරු සැලකිල්ලට ගෙන, විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර සහ සම්පත් අබේකෝන් මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම කටයුතු අවසන් කිරීමට තීරණය කළේය

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ගැසට් කරන ලද මෙම පනත් කෙටුම්පත, පරිශ්‍රයන්හි පදිංචිකරුවන් අත්තනෝමතික ලෙස ඉවත් කිරීම වැළැක්වීමට නීතිමය ආරක්ෂාවක් ලබා දීම අරමුණු කර ඇත.එහෙත්, එහි සමහර වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට චෝදනා කරමින් විශේෂ අභියාචනා පෙත්සම් පහක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු වී තිබිණි.

පෙත්සම්කරුවන් විසින් මෙම පනත් කෙටුම්පත බලාත්මක කිරීමට ජනමත විචාරණයකදී ජනතා අනුමැතියක් සහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බවට ප්‍රකාශයක් ඉල්ලා සිටියහ.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ ශාන්ත ජයවර්ධන මහත්වරු පෙනී සිටියහ. මැදිහත් වන පෙත්සම්කරු වෙනුවෙන්ද ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පෙනී සිටියේය.නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා පෙනී සිටියේය.

මෙම තීරණයත් සමඟ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ අභියෝගයන්ට අවසන් තීන්දුවක් නොලැබුණු අතර, එය යළි සමාලෝචනයකට භාජනය වී ඇත.