රනින් සැරසුණු ලෝක කායවර්ධන ශූරයින් කටුනායකට
තායිලන්තයේ පැවති දෙවන මිස්ටර් යුනිවර්ස් (Mr. Universe) ලෝක කායවර්ධන ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ප්‍රෝ කාඩ්පත් 02ක්, රන් පදක්කම් 06ක්, රිදී පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කම් 03ක් දිනා ගැනීමට සමත් වී ඇත.
ජූනි 27 සහ 28 යන දිනවල තායිලන්තයේ පතායා නුවරදී, ලෝක කායවර්ධන සම්මේලනයේ සංවිධානයෙන් පැවති මෙම තරගාවලියට රටවල් 47ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 327 දෙනෙකු සහභාගී වී තිබුණි.
මෙහිදී වෘත්තීය මට්ටමේ තරග සඳහා පිවිසීමට අවශ්‍ය සුදුසුකම් සපුරාගත් අනෝජ් ඇලෝසියස් සහ ඩබ්ලිව්.ආර්. කාවින්ද ප්‍රෝ කාඩ්පත් හිමිකර ගැනීමට සමත් වූහ.
එමෙන්ම ශ්‍රී ලංකා කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සභාපති රන්දීර් රුද්‍රිගු මහතාට ජාත්‍යන්තර කායවර්ධන සම්මේලනයේ රන් සාමාජිකත්වය හිමිවීමද විශේෂත්වයකි.