ඥානසාර හිමියන්ගේ සිර දඬුවම ක්‍රියාත්මක කිරීමට අදාළ නඩුවේ මෝසම කැඳවෙයි
ජනාධිපති සමාව අහෝසි කරනු ලැබූ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පවතින සිරදඬුවම ක්‍රියාත්මක කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ගොනුකළ මෝසම අද (29) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
මායාදුන්නේ කොරයා සහ ලක්මාලී කරුනානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම මෝසම කැඳවූ අතර, ඒ අවස්ථාවේදී ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී සිටියේ නැත.
ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සිය සේවාදායක හිමියන් අසනීප තත්ත්වයෙන් පසුවන බවත් මෙම මෝසම පිළිබඳව අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත්, මෙය අපරාධ නඩුවක් බැවින් විත්තිකරු අධිකරණයට නොපැමිණෙන්නේ නම් වරෙන්තු නිකුත් කරන ලෙස රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
අදාළ මෝසම පිළිබඳව කරුණු දැක්වීමට කාලය ලබාදෙන ලෙස විත්තියේ නීතිඥවරයා කළ ඉල්ලීම පරිදි මෙම නඩුව ස්වල්ප වෙලාවකට කල් තැබීමට විනිසුරු මඩුල්ල පියවර ගත්තේය.