මේක මේ හාමුදුරුවන්ට විතරක් කරපු වැඩක් නෙමෙයි.. රටම කතා කළ ඥානසාර හිමියන්ගේ සිවුර ගලවපු හේතුව ඇමතිගේ කටින්ම
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර ගිහි ඇඳුමක් ඇන්දවීම බන්ධනාගාර ආඥාපනත අනුව සිදුවූවක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.
ඒ අනුව අද (06) දින පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙහිදී කටයුතු කර ඇත්තේ බන්ධනාගාර ආඥාපනත ප්‍රකාරව බවයි.
එසේම මේ වන විටත් විවිධ වැරදි සම්බන්ධව ස්වාමීන්වහන්සේලා 63 දෙනෙකු බන්ධනාගාරගතව ඇති බවත් ඔවුන්ටද මෙම පියවරම අනුගමනය කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
"බන්ධනාගාර ආඥාපනත හැටියට කටයුතු කළ යුතු ආකාරයක් පවතිනවා. මේ සිදුවීමේදී විශේෂයක් කරලා නැහැ. දැනටමත් බන්ධනාගාරගත වෙලා දඩුවම් ලබමින් ඉන්න හාමුදුරුවන් වහන්සේලා 63 දෙනෙකුට කටයුතු කරලා තියෙන ආකාරයටම තමයි ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ටත් බන්ධනාගාර ආඥාපනත යටතේ බන්ධනාගාර නීතියෙන් කටයුතු කරලා තියෙන්නේ. මේක මේ හාමුදුරුවන්ට විතරක් කරපු වැඩක් නෙමෙයි බන්ධනාගාර ආඥාපනතෙන් කරන ක්‍රමවේදයක්"
කෙසේ වෙතත් මේ වන විට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් අද අධිකරණය වෙත රැගෙන ඒම සම්බන්ධව සමාජය තුළ දැඩි අවධානය යොමුව ඇත.
එබැවින් ඒ සම්බන්ධව කෝට්ටේ සංඝ සභාවද නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක්ද යොමු කර ඇති අතර එහි සඳහන් වූයේ ඥානසාර හිමි විනය පිටකයට අනුව පරාජික වී ඇති භික්ෂුවක් වශයෙන් හෝ සිවුර ගැලවීමට තරම් බරපතළ හේතුවක් සිය සංඝ සභාව වෙත වාර්තා වී නොමැති බවයි.
තවද අඳාළ ලිපියෙන් දැනුම්දී තිබුණේ ශාසනික වශයෙන් ඒ හිමියන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා සිවුර ගැලවීම හෝ සිවුර තබා ගැනීමට ඉඩ හැරීම සිය සංඝ සභාවට අයත් වගකීමක් බවයි.
ඒ හේතුවෙන් උන්වහන්සේගේ සිවුර ඈත් නොකරන ලෙසත් සිවුර ඇඳීමට උන්වහන්සේට අවස්ථාව ලබාදෙන ලෙසත් කෝට්ටේ සංඝ සභාවේ, ප්‍රධාන ලේඛකාධිකාරී, පූජ්‍ය ආචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමියන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් නිකුත් කරමින් ඉල්ලීමක් කර ඇත.