ත්‍රිකුණාමලයම හෙල්ලූ බිලිදු මරණය ගැන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කට අරියි
දරු ප්‍රසූතියකදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේදී බිලිඳෙකු මියයාමේ සිද්ධියට කිසිදු අවස්ථාවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කළ වෘත්තිය සමීති ක්‍රියාමාර්ගවල සම්බන්ධයක් නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කර තිබේ.
අද (11) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා සදහන් කළේ ප්‍රසුතිකාගාර ප්‍රතිකාර යනු හදිසි ප්‍රතිකාර බැවින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලදී කිසිදු විටකදී වෛද්‍යවරුන් හදිසි ප්‍රතිකාරවලින් ඉවත් වීමක් සිදුනොකරන බවය.
වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් යම් පිරිසක් විසින් සිතාමතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට චෝදනා එල්ල කිරීමට උත්සාහ ගන්නා බවක් පෙනී යන බවත්, අදාළ වෛද්‍යවරුන් වැඩතහනමකට ලක්වූ බව මාධ්‍ය මඟින් දැනගැනීමට ලැබුණද ඒ සම්බන්ධයෙන් ලිඛිත දැනුම්දීමක් මෙතෙක් සිදුකර නොමැති බවයි .
එමෙන්ම අදාළ වෛද්‍යවරු රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුවද ඔවුන් පෞද්ගලික සේවයේ නිරත වී ඇත්තේ, තමන්ගේ සේවා කාලයෙන් පිටත අවස්ථාවක බවද වෛද්‍ය චන්දික එපිටකඩුව මහතා තවදුරටත් මහතා ප්‍රකාශ කර ඇත.
පසුගිය අප්‍රෙල් 9 වෙනිදා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහරෝහලේ සිදුවූ දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයාමේ සිද්ධියකට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකළ මූලික විමර්ශනයට අනුව එම රෝහලේ වෛද්‍යවරු දෙදෙනෙකුගේ රාජකාරි වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබේ
රාජකාරි කාලසීමාවේ සිය රාජකාරී පැහැරහැරීම සහ පෞද්ගලික සේවාවල නියැලීම ඇතුළු චෝදනා කිහිපයකට අදාළවයි එලෙස වැඩ තහනම් කර ඇත්තේ එම මහරෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු සහ එම රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරියකගේය.
අදාළ දරු ප්‍රසූතිය සිදුවන අවස්ථාවේ ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් සූතිකාගාරයට පැමිණෙන්නැයි දැනුම්දෙමින් රෝහලේ නේවාසික වෛද්‍යවරිය අදාළ විශේෂඥ වෛද්‍යවරයාට සහ වෛද්‍යවරියට අවස්ථා ගණනාවකදී ඇමතුම් ලබාදී ඇතත් ඔවුන් එම අවස්ථාවේ නොපැමිණි බවට ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල කර තිබේ.
අදාළ වෛද්‍යවරු දෙදෙනා එම අවස්ථාවේ පෞද්ගලික රෝහලක සිසේරියන් සැත්කමකට සහභාගී වී සිට ඇති බවටත් චෝදනා එල්ල වී තිබූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදුකර ඇත.
අදාළ වෛද්‍යවරු දෙදෙනා රාජකාරි වේලාව තුළ පෞද්ගලික අංශයේ සේවයේ යෙදී සිට ඇති අතර එම අවස්ථාවේ රෝහලේ රාජකාරි කර ඇතැයි රාජකාරි දිනපොතේ අසත්‍ය සටහන් ද යොදා තිබූ බව ඒ අනුව අනාවරණ වී තිබේ.
ත්‍රිකුණාමලයම සලිත වුන දරු ප්‍රසූතියකදී බිලිඳෙකු මියයාමේ සිද්ධියට වෛද්‍යවරයෙකුට හා වෛද්‍යවරියකට වැඩ වරදී
ඒ හේතුවෙන් එම වෛද්‍යවරු දෙදෙනාගේ රාජකාරි වැඩතහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සඳහන් වේ. මේ අතර, මෙම සිදුවීම සිදුව ඇති අප්‍රෙල් 09 වෙනිදා රජයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රෝහලේ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළ දිනයකදීය.
එමෙන්ම රාජකාරි පැහැරහැරීම හේතුවෙන් වැඩතහනමට ලක්වූ විශේෂඥ වෛද්‍යවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රාදේශීය මට්ටමේ සභාපතිවරයෙක්ද වේ. කෙසේවෙතත් මෙම සිද්ධිය පිළිබඳ විධිමත් විනය පරීක්ෂණයක් සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් ඉදිරියේදී සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.