මිනිසා කේන්ද්‍ර කරගත් AI ලෝක සංවිධානයක් බිහිවෙයි - රටවල් 29ක් එකට එක්වෙයි
ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය (World Artificial Intelligence Cooperation Organization - WAICO) පිහිටුවීම සඳහා රටවල් 29ක් අද (16) චීනයේ ෂැංහයි නුවරදී ගිවිසුමකට අත්සන් තබා තිබේ.
අදාළ ගිවිසුමට අනුව, WAICO ස්වාධීන අන්තර්රාජ්‍ය ජාත්‍යන්තර සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වන අතර එහි මූලස්ථානය චීනයේ ෂැංහයි නුවර පිහිටුවීමට නියමිතය. චීන රජය වෙනුවෙන් එරට විදේශ අමාත්‍ය වෑං යී (Wang Yi) ගිවිසුමට අත්සන් තැබූ අතර, කසකස්තානය, ලාඕසය, පාකිස්තානය, රුසියාව සහ ඉන්දුනීසියාව ඇතුළු රටවල් 29ක නියෝජිතයන් ද ඊට එක්විය.
ඒ අනුව එම රටවල් WAICO සංවිධානයේ ආරම්භක සාමාජිකයන් බවට පත්ව තිබේ. ගිවිසුම අත්සන් කිරීමේ උත්සවයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් ඇතුළු රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයෝ ද සහභාගි වූහ.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු අනුගමනය කරමින්, පුළුල් සාකච්ඡා, ඒකාබද්ධ දායකත්වය සහ පොදු ප්‍රතිලාභ යන මූලධර්ම මත මෙන්ම මිනිසා කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් යටතේ කටයුතු කිරීම මෙම සංවිධානයේ අරමුණ බව ගිවිසුමේ සඳහන් වේ.
කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ ජාත්‍යන්තර සහයෝගිතාව සහ ගෝලීය පාලන ක්‍රමවේද ශක්තිමත් කිරීම, එම තාක්ෂණය ආරක්ෂිත, සාධාරණ සහ සියලු දෙනාට ප්‍රයෝජනවත් වන අයුරින් භාවිතයට පත් කිරීම සහ එහි සෞඛ්‍ය සම්පන්න හා විධිමත් සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම WAICO සංවිධානයේ ප්‍රධාන අරමුණු ලෙස දක්වා ඇත.