මංගල රාත්‍රිය ගත කරන්න ගියාට ඔයා මේ දේවල් දන්නවද..? කොහොමද ඔයාගේ සූදානම..ඔබ කියවිය යුතුම ලිපියක්..

Wedding Relationship
By Sewvandhi Oct 13, 2024 03:15 PM GMT
Sewvandhi

Sewvandhi

Report

කොහොමද ඔබලා දෙන්නගේ මංගල රාත්‍රිය ගත කරන්න තියන සූදානම ? පූර්ව විවාහ උපදේශනය සදහා මා හමුවීමට පැමිණි යුවලකගෙන් මම මේ ප්‍රශ්නය ඇසුවේ විවාහ උපදේශන තුළ විවාහකයන් පිළිබඳව මට ඇති අද්දැකීම් පිළිබඳව සිහි කරමින්.

මගේ ප්‍රශ්නය මා ඔවුන් දෙදෙනාම දෙස බලමින් ඔවුන්ට යොමු කරා. ඒ ප්‍රශ්නය හමුවේ දෙදෙනාම යම් ලැජ්ජාශීලි බවකින් නිරුත්තර වෙලා යන අයුරු මට පැහැදිලිව දකින්න ලැබුණා. යම්තම් අමාරුවෙන් වචන ගැට ගසා ගනිමින් මනමාලයා පැවැසුවේ එහෙම විශේෂ සූදානම් වීමක් නැති බවය.

තවදුරටත් ඔවුන් පවසා සිටියේ තමන් අඩුම තරමේ ඒ ගැන සාකච්ඡා කරවත් නැති බවයි. මම නැවත ඔවුන් දෙදෙනාට පවසා සිටියේ මා ඇසූ දෙය ගැන කතා කරන්න ලැජ්ජා විය යුතු නැති බවයි, මන්ද බොහෝ විවාහයන් තුළ ලිංගික ජීවතය දෙදරා යාමට හේතු අඹු සැමි දෙදෙනාගේ ප්‍රථම ලිංගික එකතුවේදී සිදු විය හැකි නිසයි.

මේ පිළිබඳව මට උදාහරණ ඕනෑ තරම් ලබා දිය හැකි බව මම ඔවුන්ට පැහැදිලි කරනු ලැබුවා. ඇත්තටම ඔවුන් දෙදෙනා උපදේශනය සදහා යොමු වීමට හේතු වෙලා තිබුණේ විවාහ මංගල උත්සවයේ සංවිධානයේදී අධික වැඩ කටයුතු නිසා වෙහෙසට මානසික ආතතියට පත් වීම තුළ ඔවුන් අතර ඇති වී තිබූ මතභේදාත්මක තත්වය සමනය කර ගැනීමට සහය ලබා ගැනීමේ අරමුණින්.

විවාහ උත්සවය සදහා ලක්ෂ ගණනින් මුදල් වියදම් කරමින් විශාල ලෙස මහන්සි වෙමින් කාලය කැප කරමින් ඔවුන් කටයුතු කරමින් සිටියේ ඒ සදහා සහභාගි වන අයව සතුටු කරන්න, දෙපාර්ශවයේ දෙමාපියන් නෑදෑයන්ගේ අභිරුචිකම් ඉටු කරන්න, විවාහ චාරිත්‍ර සිරිත් විරිත් ඉටු කරන්න, ඒ ඇරෙන්න ඔවුන්ගේ ලස්සන දවස සුන්දර කර ගන්න ඔවුන් දෙදෙනා වෙනුවෙන් ඔවුන්ගේ සතුට වෙනුවෙන් සිදු කළ යුතු දේවල් පිළිබඳව ඔවුන්ට හැඟීමක් තිබූ බවක් මට හැගුණේ නැහැ.

ඒ අනුව මගේ දීර්ඝ පැහැදිලි කිරීම් හමුවේ ඔවුන් එහි ඇති බරපතල තත්වය මැනවින් තේරුම් ගත්තා. ඇත්තටම ඒ යුවල පමණක් නොව විවාහ වීමට සිටින බොහෝ අය ඒ ගැන විවාහයට පෙර ප්‍රථම ලිංගික එක් වීම පිළිබඳව විවෘතව කතා බස් කරන්නේ නැහැ, ඒ සදහා විවිධ හේතු බලපාන බව පැහැදිලියි, නමුත් මාගේ අදහස නම් විවාහයකදී අනෙක් දේවල් සේම එයද විවෘතව සාකච්ඡා කර අදහස් හුවමාරු කර ගැනීම ඒ පිළිබඳව හොදින් දැනුවත් වීම ඉතාම වැදගත්.

ගැහැණු පිරිමි භේදයකින් තොරව බොහෝ දෙනා ලිංගික එක් වීමක් පිළිබඳව ප්‍රථම අද්දැකීම ලබන්නේ විවාහ වීමෙන් පසුයි. ඒ වගේම ලංකාව වැනි රටක විධිමත් ලෙස ලිංගික අධ්‍යාපනය ලබා නොදීම නිසා ලිංගිකත්වය පිළිබඳව බොහෝ දෙනා තුළ පවතින්නේ ඉතාම වැරදි දෝෂ සහිත දැනුමක් සහ අවබෝධයක්, මිත්‍යාවන් වැරදි විශ්වාසයන්. මේ තත්වය අඹු සැමියන් අතර ලිංගික ජීවිතයේ ගැටුම් ගැටලු ඇති වෙන්න මොන විදියට බලපානවද යන්න අප හට ඕව තරම් අද්දැකීම් තියනවා.

උදාහරණයක් ලෙස සමහර තරුණියන්ට ප්‍රථම ලිංගික එක් වීම ඉතාම වේදනාත්මකයි යන්න වන විශ්වාසය නිසා වැජිනිසම් වැනි ලිංගික ආබාධ හට ගන්නා බව අනාවරණය වී තිබෙනවා. වැජිනිසම් යනු ලිංගික එක් වීමට අපහසුතා ඇති කරමින් කාන්තාවකගේ උකුල කලව සහ යෝනි බිත්ති තද වීම අවහිර වීම, එසේම යෝනි ස්‍රාවය වීම අවම වීම හෝ සිදු නොවීම.

ඉතින් හිතන්න විවාහ වූ දෙදෙනකුගේ පළමු ලිංගික එක් වීම තුළ කාන්තාවක් එවැනි තත්වයට පත් උවහොත් එහිදී ඔවුන් පත් වන අසීරුතාවය පිළිබඳව. ලිංගිකත්වය ලිංගිකව එක් වීම පිළිබඳව ඔවුන්ට දැණෙන හැගෙන දේ සහ ඒ පිළිබඳව ඇති වන ආකල්පය.

එහිදී ඇති වන කලබලය නොරිස්සීම මානසික ආතතිය නිසා කාන්තාවකට ලිංගිකත්වය ලිංගික එක් වීම ජීවිත කාලය පුරාවටම වදයක් කරදරයක් වේදනාවක් විය හැකිය. එවැනි තත්වයට පත් වූ කාන්තාවන් ඕනෑ තරම් සමාජයේ ජීවත් වේ. එසේම ලිංගිකව එකතු වීම සදහා සුදුසු ලෙස ප්‍රවේශ වීම පිළිබඳව මනෝ විද්‍යාත්මකව සහ ජීව විද්‍යාත්මක ඇති පියවරයන් මොනවාද යන්න පිළිබඳව බොහෝ දෙනා දැනුවත් නැත.

එසේම සමහර ගැහැණු පිරිමි අය තමන්ගේ මංගල රාත්‍රියේදී තමයි ජීවිතයේ ප්‍රථම වතාවට සජීවීව කාන්තා ශරීරයක් පිරිමි ශරීරයක් නිරුවතින් දකින්නේ. සමහරවිට එහිදී අනෙකා පිළිබඳව බයක් අප්පිරියාවක් ඇති වීමට හැකිය. එසේම විවිධ සෘණාත්මක සිතිවිලි සහ අසුභ හැඟීම් අනෙකා පිළිබඳව ඇති විය හැකිය. එම නිසා හට ගන්නා අප්‍රියජනක මානසිකත්වය යහපත් ලිංගික ජීවිතයක් සදහා විශාල බාදාවකි.

මේ එක ස්වාමිපුරුෂයකු මා හමු වේ පැවසූ කතාවකි. එයාව නිරුවතින් දැකපු පළමු දවසේ මට එයාව ඇදුම්වලින් සැරසිලා ඉන්නවා තරම් ලස්සනට පෙණුනේ නැහැ, ඇත්තටම මම බලාපොරොත්තු උනේ ඊට වඩා ලස්සන ඇගක් සහ ශරීර අවයව, ඒ හේතුවෙන් මට එයා ගැන ක්ෂණිකව ඇති උනේ යම් අනුකම්පාවක් එක්ක කිසියම් වික්ෂිප්ත බවක්, මට නොයෙක් දේවල් හිතට එන්න ගත්තා, මම කල්පනා කරා මොකක්ද මම මේ කර ගත්තෙ කියලා, මම කොහොමද ⁣මෙයා එක්ක ජීවිත කාලයම එකට ඉන්නෙ කියලා.

මම ගොඩාක්ම ⁣වෙහෙසට ආතතියට පත් උනා. එයා හොදින්ම දැක්කා මම කලබල වෙලා කියලා, එයා කෙලින්ම මගෙන් ඒ ගැන ඇහුවේ, ඇයි ඔයාට ම⁣ගේ ඇග ලස්සන නැද්ද කියලා, මම කලබලයෙන් එහෙම එකක් නැහැ කියලා උත්තර දුන්නා. නමුත් මගේ මූණෙන් හොදටම ඒ බව එයාට තේරිලා තිබුණේ. එයා ගැව තිබුණ හැඟීම ආදරය මංගල රාත්‍රියේදීම නැති වෙලා ගියා කිව්වොත් නිවැරදියි.

ඒ වගේම සමහර පිරිමි සිටිනවා තමන්ගේ මංගල රාත්‍රිය හොදින් ගත කිරීමට යයි සිතා විවිධ උත්තේජක වර්ග සමහරවිට මත්ද්‍රව්‍ය වගේ දේවල් පාවිච්චි කරන, ඉතින් මේවත් සමහර අය සිදු කරන්නේ කිසිදු අවබෝධයකින් තොරව හිතුමතේ, සමහරවිට අනෙක් පාර්ශවයට හොරෙන්. ඒවා ඉතාම අහිතකර ⁣ලෙස බලපෑම් ඇති කරන්න පුලුවන්.

මේ තවත් තරුණයෙක් කියපු කතාවක්. මගේ යාලුවෙක් මගේ වෙඩින් එක දවසේ මට යම් මත්ද්‍රව්‍යයක් ලබා ගන්න කියලා බල කලා, එයා කිව්වේ ⁣මේක ගත්තම හොද ක්‍රීයාකාරීත්වයක් ඇති වෙනවා කියලා. ඉතින් ඒ වෙලාවේ මට යාලුවන්ගේ හිත රිද්දන්න බැරි කමට ඒක ගන්න සිද්ද උනේ. අන්තිමට ඒ ලබා ගත් දෙය නිසා ලොකු ප්‍රශ්නයක් ඇති උනා, මොකද ඒ මත්ද්‍රවයේ බලපෑම මත මගේ හැසිරීම බිරිදට ලොකු වේදනාවක් ඇති කරා ඒක තාමත් අපේ විවාහ ජීවිතයට බලපෑම් කරනවා.

ඉතින් මෙවැනි තත්වයන් ඇති වෙන්නෙ නිසි ලෙස දැනුමෙන් සහ අවබෝධයෙන් කටයුතු ⁣නොකිරීම නිසා, විවාහ ජීවිතය සාර්ථක ⁣වෙන්න හොද ලිංගික ජීවිතයක් තිබිය යුත බව අද සමාජයේ සිදු ⁣වෙන පවුල් ආරවුල් දිහා බැලුවම ඉතාම පැහැදිලියි. ඒ නිසා විවාහ වීමට සිටින අයට අපි ලබා දෙන පණිවිඩය නම් ඔබගේ පළමු ලිංගික එක්වීම ඉතාම ආකර්ෂණීය ⁣ලෙස දෙදෙනාටම සෑහීමකට පත් විය හැකි ලෙස අත් විදින්න උත්සාහ කරන්න, ඒ පිළිබඳව දැනුවත් වෙන්න කියලා.මොකද සාර්ථක ලිංගික ජීවිතයකට මූලික අඩිතාලම වැටෙන්නෙ ඔව්න්ගේ පළමු ලිංගික අද්දැකීමේ සාර්ථක වීම මතයි බොහෝ දුරට.

(උපුටාගැනීම - කසුන් රාජපක්ෂ ප්‍රවීණ මනෝ උපදේශක.)