රතු ලේබලයට ලොකු වෙනසක් -පැණිබීමවල සීනි සීමා කරමින් සෞඛ්‍ය ඇමතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
දියර ආහාරවල අන්තර්ගත සීනි මට්ටම සංශෝධනය කරමින්, ආහාර උපදේශක කමිටුවේ නිර්දේශ මත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
නව සංශෝධන අනුව, දියර ආහාරවල සීනි ප්‍රමාණය වර්ණ සංකේත ක්‍රමය (රතු, ඇම්බර්, කොළ) යටතේ වර්ගීකරණය කිරීමේදී සීනි අන්තර්ගත සීමා තවදුරටත් සංශෝධනය කර ඇත.
ඒ අනුව, රතු වර්ණයෙන් නිරූපිත දියර ආහාරවල මිලිලීටර් 100කට අඩංගු සීනි ප්‍රමාණය ග්‍රෑම් 11 සිට 8 දක්වා අඩු කර තිබේ.
ඇම්බර් වර්ණයෙන් දක්වන පරාසය ද යළි සංශෝධනය කර ඇති අතර, එය මිලිලීටර් 100කට ග්‍රෑම් 2.5 සිට 8 දක්වා වන අතරමැදි සීමාවක් ලෙස නිර්වචනය කර ඇත.
කොළ වර්ණයෙන් නිරූපිත දියර ආහාරවල සීනි ප්‍රමාණය මිලිලීටර් 100කට ග්‍රෑම් 2.5ට අඩු විය යුතු බව ද නව නියමයන්හි සඳහන් වේ.
මෙම නව සංශෝධන යටතේ, ආහාර ඇසුරුම් මත සීනි සංකේත ලාංඡන ප්‍රදර්ශනය කිරීම සඳහා විකල්ප ක්‍රමවේද ද හඳුන්වා දී ඇති අතර, වීදුරු බෝතල් වැනි සීමිත ඉඩකඩක් සහිත ඇසුරුම් සඳහා විශේෂ ලේබල් ආකෘති භාවිතා කිරීමට අවසර ලබා දී ඇත.
එමෙන්ම, ලාංඡනයේ ප්‍රමාණය, වර්ණ භාවිතය, “සීනි / Sugar” ලෙස සඳහන් කිරීම සහ සීනි ප්‍රමාණය දැක්වීම සම්බන්ධයෙන් නව තාක්ෂණික ප්‍රමිති ද හඳුන්වා දී තිබේ.
සෘජුව පාරිභෝගිකයා වෙත අලෙවි නොකරන, ආහාර සැකසීම, නිෂ්පාදනය හෝ නැවත විකිණීම සඳහා පමණක් භාවිත වන Business to Business (B2B) ආහාර නිෂ්පාදන සඳහා ද විශේෂ විධිවිධාන ඇතුළත් කර ඇත.
මෙම සංශෝධන මගින් පාරිභෝගිකයන්ට තමන් භාවිත කරන දියර ආහාරවල සීනි අන්තර්ගතය පිළිබඳ නිවැරදි තොරතුරු පහසුවෙන් අවබෝධ කරගැනීමට හැකිවීමත්, සෞඛ්‍ය සම්පන්න ආහාර පරිභෝජන රටා ප්‍රවර්ධනය කිරීමත්, බෝ නොවන රෝග පාලනය සඳහා ජාතික උත්සාහයන් ශක්තිමත් කිරීමත් අරමුණු කරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

