පක්ෂ අරමුදලට බැරි නම් කාක්කන්ට ආප්ප අරන් දුන්නත් අපිට කමක් නෑ අපි කතා කරන්නේ මන්ත්‍රී දීමනා ගැන - ගම්මන්පිල [VIDEO]
පිවිතුරු හෙළ උරුමය මඟින් ඊයේ (20) දින පැවැත් වූ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් මන්ත්‍රි දීමනා පක්ෂ අරමුදලට ලබා දීම නීතිවිරෝධී බව සඳහන් කර ඇත.
එහිදී ඔහු විසින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ගෙනා මන්ත්‍රි දීමනා පක්ෂ අරමුදලට ලබා දීම තහනම් කිරීමේ පාර්ලිමේන්තු යෝජනාවට මාලිමා මන්ත්‍රීවරුන් දැක්වූ ප්‍රතිචාරය දැඩි ලෙස විවේචනය කර තිබෙනවා.
ඒ අනුව වැඩිදුරටත් අදහස් දක්වමින් පක්ෂ නායකවරයා සඳහන් කර තිබුණේ,
"මන්ත්‍රි දීමනා පක්ෂ අරමුදලට ලබා දීම තහනම් කිරීමේ පාර්ලිමේන්තු යෝජනාවක් දයාසිරි ජයසේකර මන්ත්‍රිතුමා ගෙනැවිත් තිබෙනවා. ඒකට ප්‍රතිචාර දක්වමින් මාලිමා මන්ත්‍රිවරුන් අහන්නේ අපේ වැටුප අපි දෙන්න කැමති නම් ටිල්වින් සහෝදරයා ගන්න කැමති නම් විපක්ෂයට පාන් ද කියලා. මන්ත්‍රි දීමනා පක්ෂ අරමුදලට ලබා දීම නීති විරෝධියි කියලා රටට කියපු පුද්ගලයා විදියට, ඒ ගැන අල්ලස් කොමිසමට පැමිණිලි කළ පුද්ගලයා විදියට මේ ගැන පැහැදිලි කිරීමක් කිරීම මගේ වගකීමක්. මාලිමා මන්ත්‍රිවරුන් තමන්ට වැටුප ලෙස ලැබෙන රු 54,285ත් පැමිණීමේ දීමනාව විදියට මාසිකව ලැබෙන දහ පහලොස් දාහත් තමන් කැමැති විදියට වියදම් කරනවාට අපේ විරෝධයක් නෑ. පක්ෂ අරමුදලට දෙන්න බැරි නම් කාක්කන්ට ආප්ප අරන් දෙන්නත් පුළුවන්. ඒක ගැන අපි හොයන්නේ නෑ. අපි කතා කරන්නේ මන්ත්‍රි දීමනා ගැන විතරයි. මන්ත්‍රිවරයෙකු රුපියල් ලක්ෂයක කාර්යාල දීමනාවක් ලැබෙනවා. ඒ මුදල දෙන්නේ කාර්යාලයක් නඩත්තු කරන්න. ගොඩනැගිලි කුලිය, විදුලි බිල්, ජල බිල්, පිරිසිදු කිරීමේ වියදම්, උපකරණ වියදම් වගේ වියදම් සඳහා ඒ රුපියල් ලක්ෂය දෙන්නේ. ඒ මුදල ලබා දුන්නු නිශ්චිත කාරණයට වැය කරන්නේ නැතිව ඒක ගිහින් පක්ෂ අරමුදලට දුන්නොත් ඒක මහජන මුදල් අවභාවිතා කිරීමක්. ඒක හරියට ටී බී සරත් ඇමතිතුමා කොළඹ ඉඳන් පොලොන්නරුවට වැසිකිලි හදන්න මුදල් වෙන් කරගෙන ඒ මුදලින් පක්ෂ මූලස්ථානයට වැසිකිලි පද්ධතියක් හදලා දෙනවා වගේ වැඩක්. ඔය වගේම මන්ත්‍රිවරුන්ට මාසයකට රුපියල් ලක්ෂයක විතර ඉන්ධන දීමනාවක් දෙන්නේ වාහනයට ඉන්ධන ගහගෙන දිස්ත්‍රික්කය වටා සංචාරය කරමින් ජනතා ප්‍රශ්න හඳුනා ගන්න, විසඳන්න.
ඒ වැඩේ නොකර ඒ මුදල පක්ෂ අරමුදලට ලබා දීමත් මහජන මුදල් අවභාවිතයක්. ඒ වගේම මන්ත්‍රිවරුන්ට රු 50,000/- දුරකථන දීමනාවක් දෙනවා. ඒ ගෙදර සහ කාර්යාලයේ දුරකතන බිල් ජංගම දුරකතන බිල්, පැකුම් බිල්, අන්තර්ජාල සේවා බිල් වගේ වියදම් දරන්න. ඒ මුදල දෙන්නේ ප්‍රශ්නයක් වුණාම නිලධාරින්ට කතා කරලා මහජන ගැටළු විසඳන්න. අන්තර්ජාලය හරහා රටේ සහ ලෝකයේ වෙන දේවල් ගැන දැනුම්වත් වෙන්න. ඒ මුදල පක්ෂයට පරිත්‍යාග කළාම ප්‍රශ්නයක් විසඳන්න දුරකතන ඇමතුම ගන්න ලෝභයි. ඇයි? බිල් ගෙවන්න අතේ සල්ලි නැති නිසා. අන්තර්ජාලයෙන් තොරතුරු පරික්ෂා කරන්නේ නෑ. තීන්දුවලට අවශ්‍ය තොරතුරු ලබා ගන්න ඒඅයි මෙවලම් පාවිච්චි කරන්නේ නෑ. නෙට්ෆ්ලික්ස් වැනි චිත්‍රපට නාලිකා බලලා චින්තනයේ නිම් වලලු පුළුල් කර ගන්නේ නෑ. ළිං මැඩියෝ වගේ තමයි හිතන්නේ, තීන්දු ගන්නේ. මාලිමා මන්ත්‍රින්ට දොස් කියන්න බෑ. අතේ සතේ නැතිව කොහොමද මේ වියදම් දරන්නේ? ඔය වගේම තිබෙනවා ප්‍රවාහන දීමනාව කියලා රුපියල් 15,000ක්. ඒක ලබා දෙන්නේ මහජන ගැටළු විසඳා ගන්න තමන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට කොහෙට හරි යන්න අවශ්‍ය වුණාම ප්‍රවාහන පහසුකම් සපයා ගන්න. අනවසර ඉදිකිරීමක් බලන්න, කැඩුණු පාලමක් බලන්න, ජනතාව හමුවීම ප්‍රතික්ෂේප කරන රජයේ නිලධාරියෙකු ගාවට ජනතාව සමග යන්න, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අමාත්‍යාංශවලට යන්න වගේ ගමන් රාශියක් මන්ත්‍රිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට යෙදෙනවා. ඇත්තම කිව්වොත් රු15,000 ඒ වැඩේට හොඳටම මදි. මේ රු15,000ත් පක්ෂ අරමුදලට පරිත්‍යාග කළාම කාර්ය මණ්ඩලය ප්‍රවාහන වියදම තමන් සොයා ගන්න ඕනි. අන්තිමට වෙන්නේ ජනතා ප්‍රශ්න විසඳලා දෙන්න කාර්ය මණ්ඩලය රජයේ කාර්යාලවලට යන්න අදිමදි කරන එකයි. නිශ්චිත කරුණකට ලබා දුන් මහජන මුදල් අවසරයකින් තොරව වෙනත් කාරණයකට යෙදවීම පොදු දේපළ අපහරණයක්. මහෙස්ත්‍රාත්වරයෙකුට ඇප ලබා දිය නොහැකි වරදක්. මාලිමා මන්ත්‍රිවරුන් 159ම මේ බරපතළ වරද සිදු කරනවා කියන එක අපි සිහිපත් කරනවා. ඒ නිසා 2029 දී වැලිකඩ සිර ගෙදර එක වාට්ටුවක්ම මාලිමාවට වෙන් කරන්න වේවි." යනුවෙන්.