ගාල්ල බන්ධනාගාරයෙන් දැඩි සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් 60 දෙනෙකුට වැඩි පිරිසක් මේ වන විට ක්ෂය රෝගය සඳහා ඖෂධ ලබා ගනිමින් සිටින බව බන්ධනාගාර අධිකාරී කාර්යාලය පවසයි.
අදාළ රැඳවියන් සඳහා මාස තුනක කාලයක් ඉරිදා දිනවලදී ඖෂධ පෙති තුනක් බැගින් ලබාදීමට කටයුතු කර ඇති බවද එම කාර්යාලය සඳහන් කරයි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම රැඳවියන් නිරන්තර වෛද්‍ය පරීක්ෂණවලට ලක් කරමින් සිටින අතර, මේ වන විට රෝගය බන්ධනාගාරයේ අනෙකුත් රැඳවියන් අතරට පැතිරීමේ අවදානමක් නොමැති බවද අවධාරණය කෙරේ.
කෙසේ වෙතත්, ඉදිරියේදී එවැනි බෝවීමේ තත්ත්වයක් හෝ රෝගය උත්සන්න වීමක් වාර්තා වුවහොත්, වෛද්‍ය උපදෙස් අනුව අදාළ රැඳවියන් වැලිසර ළය රෝහල වෙත මාරු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවද බන්ධනාගාර අධිකාරී කාර්යාලය පවසයි.
දැනට පවතින තත්ත්වය අනුව නිසි ඖෂධ භාවිතය මගින් මෙම රෝගී තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කළ හැකි බවද සඳහන් වේ. එමෙන්ම, මත්කුඩු භාවිතය සම්බන්ධයෙන් බන්ධනාගාරගත වන රැඳවියන්ගෙන් සියයට 90කට පමණ ක්ෂය රෝගී තත්ත්වය පවතින බවද වැඩිදුරටත් අනාවරණය කර තිබේ.