ඉදිරි මාස හතර ඇතුළත බොරතෙල් සහ ඩීසල් බැරල් මිලියන 100ක්
ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමට හේතු වී ඇති සැපයුම් හිඟයට පිළියමක් ලෙස ජාත්‍යන්තර බලශක්ති නියෝජිතායතනයේ සම්බන්ධීකරණය යටතේ ඉදිරි මාස හතර ඇතුළත බොරතෙල් සහ ඩීසල් බැරල් මිලියන 100ක් මුදා හැරීමට G7 රටවල් එකඟතාව පළ කර තිබේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අමෙරිකානු පාරිභෝගිකයින්ගේ ඉන්ධන මිල පාලනය සඳහා ඩීසල් අපනයනය තහනම් කිරීමට කළ තර්ජනයත් සමඟ මෙම තීරණයට එළඹ ඇත.
යුරෝපා රටවල් සිය සංචිතවල පවතින ඩීසල් තොග වෙළෙඳපොළට මුදා හරින්නේ නම් අපනයන තහනම ක්‍රියාත්මක නොකරන බවට අමෙරිකාව පවසා තිබූ අතර, ඒ අනුව සාමාජික රටවල් එකිනෙකා අතර බලශක්ති අපනයන සීමා කිරීමෙන් වැළකී සිටීමටත්, ප්‍රථම දින 20 තුළ සැලකිය යුතු ඩීසල් තොගයක් වෙළෙඳපොළට නිකුත් කිරීමටත් මෙහිදී සම්මත විය.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් සහ බ්‍රිතාන්‍ය විදේශ ලේකම් එඩ් මිලිබන්ඩ් තහවුරු කළේ මෙම පියවර මගින් බලශක්ති සැපයුම් ස්ථාවර වී පවුල් සහ ව්‍යාපාර දැඩි මිල අර්බුදයෙන් ආරක්ෂා වන බවයි.
අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කළ හමුදාමය ක්‍රියාමාර්ග හමුවේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මෙම හදිසි සංචිත මුදා හැරීම මගින් ඉදිරියේදී ගෝලීය ඉන්ධන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ගණන් පාලනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.