මිලියන ගණනක ඉතිහාසය යළි ගොඩගන්න පුත්තලමේ පොසිල කෞතුකාගාරයක් ඉදිවෙයි
පොසිල අධ්‍යයනය, පර්යේෂණ සහ අධ්‍යාපනික කටයුතු සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් රුපියල් මිලියන 25ක වියදමින් නව විශේෂිත කෞතුකාගාරයක් ඉදිකිරීමේ වැඩකටයුතු පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයේදී ආරම්භ කර තිබේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතියේ ආරම්භක කටයුතු පසුගිය 11 වැනිදා සිදු කෙරිණි. වසර මිලියන ගණනක් පැරණි මයෝසීන යුගයට අයත් ශාක හා සත්ත්ව පොසිල බහුලව හමුවන විශේෂිත භූගෝලීය කලාපයක් ලෙස පුත්තලම අරුවක්කාලු ප්‍රදේශය සැලකේ.
එම ප්‍රදේශයේ පවතින පුරාවිද්‍යාත්මක වැදගත්කම සැලකිල්ලට ගනිමින් රජය විසින් ස්ථාන කිහිපයක් ආරක්ෂිත පුරාවිද්‍යා කලාප ලෙස නම් කර ඇති අතර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් අරුවක්කාලු ප්‍රදේශයේ හෙක්ටයාර 6ක භූමි ප්‍රමාණයක් විශේෂ පුරාවිද්‍යාත්මක රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
මෙම පොසිල කෞතුකාගාර ව්‍යාපෘතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ Insee Cement ආයතනය එක්ව ක්‍රියාත්මක කරනු ලබයි. ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය රුපියල් මිලියන 25ක සම්පූර්ණ මූල්‍ය දායකත්වය ඉන්සී ආයතනය විසින් ලබාදෙන අතර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් තාක්ෂණික දැනුම, විශේෂඥ උපදෙස් සහ මඟපෙන්වීම ලබාදීමට නියමිතය. කෞතුකාගාරය ඉදිකිරීමෙන් අනතුරුව එහි නඩත්තු කටයුතු ද දෙපාර්ශ්වයේ ඒකාබද්ධ වගකීමක් ලෙස සිදු කිරීමට සැලසුම් කර තිබේ.
ශ්‍රී ලංකාව පුරා පවතින මයෝසීන යුගයට අයත් පොසිල තැන්පතු පිළිබඳ අධ්‍යයනයට අවධානය යොමු කරමින් මෙම කෞතුකාගාරය අරුවක්කාලු, සෙරක්කුලිය සහ අලිවලා යන ප්‍රදේශ ආශ්‍රිතව ස්ථාපිත කෙරේ.
මෙම ව්‍යාපෘතිය මඟින් හුණුගල් කැණීම් සිදුවන ප්‍රදේශයේ පාරිසරික සහ ඓතිහාසික උරුමයන් ආරක්ෂා කිරීමට මෙන්ම කැණීම් අතරතුර හමුවන වටිනා පොසිල විනාශයට පත්වීම වැළැක්වීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එමෙන්ම සංරක්ෂණය කරන ලද පොසිල අනාගත පරපුරට සහ පර්යේෂකයන්ට අධ්‍යයනය කිරීමට සහ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සැලසෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.