බණ්ඩාරවෙල මහ නගර සභාවේ හිටපු නගරාධිපති අත්අඩංගුවට
බණ්ඩාරවෙල මහ නගර සභාවේ හිටපු නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා බණ්ඩාරවෙල විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නගර සභාවේ සිදුවූ බව කියන මුදල් වංචාවක් සහ කූඨ ලේඛන සකස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව සඳහන්ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට මාස කිහිපයකට පෙර නගර සභාවේ ආදායම් පරීක්ෂකවරුන් දෙදෙනෙකු සහ ලිපිකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
එම සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් සහ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු මත හිටපු නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. හිටපු නගරාධිපතිවරයා ඊයේ (09) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ වනවිට බණ්ඩාරවෙල විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බව සඳහන්ය.
අත්අඩංගුවට ගත් හිටපු නගරාධිපතිවරයා අද (10) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල විශේෂ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි.