රත්මලාන නව දුම්රිය වැඩබිමට දොඹකර පද්ධති 05ක් – නවීකරණ කටයුතු වේගවත් කිරීමට පියවර

Report

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) ආධාර යටතේ ක්‍රියාත්මක කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ කොටසක් ලෙස රත්මලාන දුම්රිය අංගනයේ ඉදිකෙරෙන නව වැඩබිම සඳහා අවශ්‍ය දොඹකර පද්ධති පහක් මෙරටට ආනයනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකා දුම්රිය සේවාවේ නඩත්තු ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් රත්මලානේ ඉදිකෙරෙන මෙම නව දුම්රිය වැඩබිම සඳහා අවශ්‍ය ප්‍රධාන දොඹකර පද්ධති ෆින්ලන්තයෙන් ආනයනය කර ඇති අතර, ඒ සඳහා වැය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් 1,352,342.73ක් බව සඳහන් වේ.

මෙම දොඹකර පද්ධති අතර ටොන් 50ක ධාරිතාවකින් යුත් විදුලි ක්‍රියාකාරී Double Girder Overhead Travelling Cranes දෙකක්, එන්ජින් සහ බොගි එසවීම සඳහා ටොන් 15ක ධාරිතාවකින් යුත් දොඹකර දෙකක් සහ ටොන් 10ක ධාරිතාවකින් යුත් දොඹකරයක්ද ඇතුළත් වේ.

අදාළ උපකරණ ස්ථාපිත කිරීමෙන් අනතුරුව රත්මලාන නව වැඩබිම තුළ දුම්රිය එන්ජින් නඩත්තු කටයුතු මෙම වසර තුළදීම ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ද වාර්තා වේ.

මෙම පද්ධති ක්‍රියාත්මක වීමත් සමඟ දුම්රිය එන්ජින් සහ බොගි නඩත්තු කිරීමේ කාලය අවම කරමින් සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හැකි වන අතර, රත්මලාන නව වැඩබිම ශ්‍රී ලංකා දුම්රිය සේවාවේ නවීකරණ වැඩසටහනේ වැදගත් අංගයක් ලෙස ක්‍රියාත්මක වනු ඇත.

මෙම ආයෝජනය මගින් ශ්‍රී ලංකා දුම්රිය ප්‍රවාහන සේවාවේ විශ්වසනීයත්වය සහ තිරසාර ක්‍රියාකාරීත්වය තවදුරටත් ශක්තිමත් වනු ඇති බවද සඳහන් වේ.

GalleryGallery