අපනයන කෘෂිකර්ම පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය - නව සංශෝධන මෙන්න
අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීමේ සංශෝධන පනත් කෙටුම්පතට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (06) සිය සහතිකය සටහන් කර තිබේ. ඒ අනුව, එම පනත් කෙටුම්පත 2026 අංක 24 දරන අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීමේ (සංශෝධන) පනත ලෙස බලාත්මක වී ඇත.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් අදාළ පනත් කෙටුම්පත පසුගිය අගෝස්තු 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.
මෙම සංශෝධන මඟින් 1992 අංක 46 දරන අපනයන කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීමේ පනතේ නීතිමය හා පරිපාලන විධිවිධාන යාවත්කාලීන කිරීමටත්, අපනයන කෘෂිකාර්මික භෝග සම්බන්ධ නීතිමය රාමුව සංශෝධනය කිරීමටත් පියවර ගෙන තිබේ.
ඒ අනුව, පරිපාලන ව්‍යුහය යාවත්කාලීන කරමින් මෙතෙක් භාවිත කළ “අධ්‍යක්ෂ” යන තනතුරු නාමය වෙනුවට “අධ්‍යක්ෂ ජනරාල්” යන තනතුරු නාමය භාවිත කිරීමට විධිවිධාන සලසා ඇත.
එමෙන්ම, අතිරේක අධ්‍යක්ෂ ජනරාල්, අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ සහකාර අධ්‍යක්ෂ යන තනතුරු ද එම පරිපාලන ව්‍යුහයට ඇතුළත් කර තිබේ.
මීට අමතරව, “අපනයන කෘෂිකාර්මික භෝගය” යන අර්ථ දැක්වීම ද සංශෝධනය කර ඇත. ඒ අනුව, දේශීය පරිභෝජනයට අමතරව අපනයන විභවයක් සහිත බව හඳුනාගත් භෝග ද ඊට ඇතුළත් කර තිබේ.
කෙසේ වෙතත්, වී, එළවළු, පලතුරු, අල වර්ග සහ ඇතැම් ආහාර භෝග මෙන්ම වැවිලි භෝග ද එම අර්ථ දැක්වීමට ඇතුළත් නොවන බව සඳහන් වේ. මෙම සංශෝධන මඟින් අපනයන කෘෂිකර්මයට අදාළ පවතින නීතිමය හා පරිපාලන රාමුව යාවත්කාලීන කිරීමට පියවර ගෙන තිබේ.