ඇසළ පුර පසලොස්වක් පොහොය දිනය අදයි..
ලෝ වාසී සියළු බෞද්ධයන් මහත් හරසරින් සමරන ඇසළ පුන් පොහොය දිනය අදට යෙදී තිබෙනවා.
බෞද්ධ සාසනික වශයෙන් සහ සංස්කෘතික වශයෙන් විශාල වටිනාකමක් ඇති මෙම පොහොය දිනය තුළ සිදු වූ විශේෂ සිදුවී රැසක් පවතී.
අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ අදවන් වූ ඇසල පෝය දිනක දීය.
සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනක දීය.
ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කිරීම ,තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ද ඇසළ පෝ දිනයක සිදු වූ තවත් සුවිශේෂි සිදුවීමකි.
කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම සිදුවූයේද ඇසල පොහෝ දිනයකයි.
විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද අද වන් වූ ඇසළ පොහොය දිනයක දීය.
ලක්වාසී ලෝ වාසී සියළු සතුන් සුවපත් වන සුවදායී ඇසළ පොහොය දිනයක් වේවා!!
