එප්පාවල ලංකා පොස්පේට් සමාගමට රු, මිලියන 110ක ආයෝජනයක් - නව යන්ත්‍ර 6ක් සේවයට
එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ නිෂ්පාදන සහ මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 110ක වටිනාකමින් යුත් නව යන්ත්‍රෝපකරණ සහ මෙහෙයුම් වාහන රැසක් එක් කර තිබේ.
එම නව උපකරණ නිල වශයෙන් සේවයට එක් කිරීම කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) සිදු කෙරිණි. මෙහිදී රුපියල් මිලියන 79ක වියදමින් වීල් ලෝඩර් යන්ත්‍ර දෙකක්, රුපියල් මිලියන 18ක වියදමින් ටිපර් රථ දෙකක් සහ රුපියල් මිලියන 13ක වටිනාකමින් ෆෝක් ලිෆ්ට් යන්ත්‍ර දෙකක් සමාගමේ මෙහෙයුම් කටයුතු සඳහා එක් කර ඇත.
මීට සමගාමීව සමාගමේ මෙහෙයුම් කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා තෝරාගත් නව රියදුරන් වෙත පත්වීම් ලිපි ප්රදානය කිරීම ද අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබීය.
පසුගිය මාස 20ක කාලය තුළ එප්පාවල ලංකා පොස්පේට් සමාගම සිය මෙහෙයුම් ක්ෂේත්රයේ සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව සමාගම සඳහන් කරයි.
එම කාලසීමාව තුළ රුපියල් මිලියන 76ක වියදමින් නව නිමි භාණ්ඩ ගබඩාවක් ඉදිකිරීම, දිගු කලක් අක්‍රියව පැවති ට්‍රැක්ටර් යන්ත්‍රයක් යළි ක්‍රියාත්මක කිරීම මෙන්ම සමාගමේ නිල වෙබ් අඩවිය සහ Sales Hotline සේවාව යළි සක්‍රීය කිරීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.
පාරිභෝගික විශ්වාසය සහ ව්‍යාපාරික කටයුතුවල විනිවිදභාවය ඉහළ නැංවීමේ අරමුණින් නිෂ්පාදනවල උපරිම සිල්ලර මිල මුද්‍රණය කිරීම ද ආරම්භ කර ඇති අතර, 2026–2030 නව උපායමාර්ගික සැලැස්ම හඳුන්වාදීම, APM තෙල් පොහොර වෙළෙඳපොළට හඳුන්වාදීම සහ ERP Sample අඩු මිලට ලබාදීම වැනි පියවර ද ගෙන ඇත.
තවද, Dealers Network ලියාපදිංචි කිරීම සහ සමාගම සතු ලොරි රථ භාවිතයෙන්ම නිෂ්පාදන බෙදාහැරීම ආරම්භ කිරීම හරහා සමාගමේ බෙදාහැරීම් හා මෙහෙයුම් ජාලය වඩාත් විධිමත් කිරීමට ද කටයුතු කර තිබේ.
මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිලින් සමරකෝන් මහතා, එප්පාවල ලංකා පොස්පේට් සමාගමේ සභාපති ආනන්ද ප්‍රේමකුමාර මහතා ඇතුළු සමාගමේ කළමනාකාරීත්වය සහ සේවක මණ්ඩලය සහභාගි වූහ.