ලබන වසරේ මාර්තු දක්වා පවතින දේශගුණික පෙරළිය- ඔක්තෝබර් - දෙසැම්බර් අතර අතිප්‍රබල මට්ටමකට [VIDEO]

Report

‘එල්නිනෝ’ දේශගුණික සංසිද්ධිය නිසා ඉදිරි මාසවලදී දිවයිනේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය තවදුරටත් ඉහළ ගොස් වැසි තත්ත්වය අඩු විය හැකි බැවින්, ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.

   මෙම තත්ත්වය තවත් මාස 8ක් හෝ 10ක්, එනම් ලබන වසරේ මාර්තු-අප්‍රේල් දක්වා පැවතිය හැකි බවත්, එළඹෙන ඔක්තෝබර් සහ දෙසැම්බර් අතර කාලයේදී මෙය අතිප්‍රබල මට්ටමකට වර්ධනය විය හැකි බවයි.

  කාලගුණ අනාවැකිවලට අනුව සබරගමුව, බස්නාහිර, වයඹ පළාත්වල සහ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල ඉදිරි දිනවල වැසි තත්ත්වයේ සුළු වර්ධනයක් බලාපොරොත්තු වන අතර, විශේෂයෙන් ජූලි 29 වැනිදා තරමක් වැඩි වැසි ඇද හැලෙනු ඇත.

අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ ජූලි අවසන් දිනවල සහ අගෝස්තු මුලදී මෙම ප්‍රදේශවලට අඩු-වැඩි වෙමින් වැසි පවතින නමුත් උතුරු, උතුරු මැද, නැඟෙනහිර පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශවල වැසි රහිත, දැඩි රස්නයක් සහිත කාලගුණයක් පවතිනු ඇති බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි රතු එළියක් - හෙට උදේ වනතුරු ප්‍රදේශ රැසකට අවධානම්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි රතු එළියක් - හෙට උදේ වනතුරු ප්‍රදේශ රැසකට අවධානම්

    එමෙන්ම මේ වන විටත් ත්‍රිකුණාමලය, වවුනියාව, මුලතීවු සහ මඩකලපුව ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 සීමාව ඉක්මවා ඉතා ඉහළ අගයක පවතින අතර ඉදිරි දිනවලදී එය තවත් ඉහළ යාමට නියමිත බවද අජිත් විජේමාන්න මහතා සදහන් කර තිබේ.

මේ හේතුවෙන් දැඩි සූර්ය රශ්මියක් පවතින දහවල් 2.00ත් සවස 4.00ත් අතර කාලය තුළ එළිමහන් වැඩබිම්වල රැඳී සිටීමෙන් හැකිතාක් වළකින ලෙසත්, සෙවණ ඇති ස්ථානවල රැඳෙමින් ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත් ඔහු ජනතාවට දැනුම් දී සිටී.

අජිත් විජේමාන්න මහතා වැඩිදුරටත් පවසන්නේ බෝ නොවන රෝගවලින් පෙළෙන්නන් සහ කුඩා ළමුන් එළිමහනට නිරාවරණය කිරීම හැකිතාක් සීමා කළ යුතු බවයි

මේ අතර සැප්තැම්බර් අග සහ ඔක්තෝබර් මාසවලදී දිවයිනට වැසි ලැබීමත් සමඟ වැව්වල ජල මට්ටම ඉහළ යා හැකි වුවද, ලබන වසරේ මුල් කාර්තුව සඳහා එම ජලය නිසි ලෙස කළමනාකරණය කරගත යුතු බවද ඔහු අවධාරණය කර ඇත

ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී බෙංගාල බොක්ක ආශ්‍රිතව පීඩන අවපාත හෝ සුළි කුණාටු වැනි කැළඹිලි ස්වභාවයන් ඇති වුවහොත් සාමාන්‍යයට වඩා වැඩි තද වැසි ඇති විය හැකි බවද ප්‍රකාශ කරයි

දෙසැම්බර් මාසයේ ඊසානදිග මෝසම ආරම්භ වීමත් සමඟ උතුරු සහ නැඟෙනහිර පළාත්වලට ගංවතුර තත්ත්වයක් ඇති වීමේ ඉඩකඩක්ද පවතින නමුත්, ඒ පිළිබඳ නිශ්චිත අනාවැකියක් පැවසීමට තවමත් නොහැකි වන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම, අගෝස්තු සහ සැප්තැම්බර් මුල වැසි අඩුවීම නිසා ජල මූලාශ්‍ර සිඳී යා හැකි බැවින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය සහ ජල කළමනාකරණ ලේකම් කාර්යාලය එක්ව මේ වන විටත් ජල කළමනාකරණ කටයුතු සැලසුම් කරමින් සිටින බවද සඳහන් වේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා සදහන් කළේ මෙවන් අදහසක්   

'මේ එල්නිනෝ තත්ත්වය මාසෙකින් ඇවිල්ලා දෙකකින් ඉවර වෙන්නේ නැහැ. අටක්, නමයක්, දහයක්, සමහර වෙලාවට අවුරුද්දක් දක්වා වගේ පවතින්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා ලබන වසරේ 2027 මාර්තු, අප්‍රේල් වෙනකම්ම මේක පවතීවි. ඒ වගේම මේ වන විට ගෝලීය පුරෝකථන එක්ක බැලුවහම මෙම එල්නිනෝ තත්වය පීක් එකට ඒ කියන්නේ උපරිම අවස්ථාවට යාවි කියලා බලාපොරොත්තු වෙනවා අගෝස්තු, දෙසැම්බර් මාසයත් අතර කාලයේදී. එතකොට අපි බලාපොරොත්තු වෙනවා ඔක්තෝබර් දෙසැම්බර් අතර කාලයේදී අති ප්‍රබල අවස්ථාවට වර්ධනය වේවි කියලා.

ඊට පස්සේ ලබන වසරේ මුල කාර්තුවේ දී එය ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා. නමුත් මේ උච්චතම අවස්ථාවට යන කාලය වෙනකොට ඔක්තෝම්බර්, නොවැම්බර් මාසවල, ඒ වගේම දෙසැම්බර් මාසයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයට වඩා වැඩි වැසි. ඉතින් අපි දන්නවා නොවැම්බර් මාසේ ගිය අවුරුද්දෙත් සුළි කුණාටු ආවා. මීට පෙර වසර සැලකුවහමත් නොවැම්බර් මාසේ තමයි ඔය බෙංගාල බොක්ක ප්‍රදේශවල කැළඹිලි ස්වභාවයන් ඒ වගේම පීඩන අවපාත, සුළි කුණාටු වගේ දේවල් ඇති වෙන්නේ. ඉතින් මෙම වසරේත් එහෙම වෙන්න ඉඩකඩක් තියෙනවා.

ඒ කැළඹිලි ස්වභාවයන් හටගත්තොත් වැස්ස තවත් වැඩි වේවි. ඇත්තටම දෙසැම්බර් මාසයේ ඊසාන දිග මෝසම පටන් ගන්නේ. එතකොට දෙසැම්බර් මාසේ මේ වැසි වැඩිවීම අපි අපේක්ෂා කරන්නේ උතුරු නැගෙනහිර පළාත්වලට තමයි. එතකොට ඒ කාලෙදි උතුරු නැගෙනහිර පළාත්වල ගංවතුරක් එහෙම එන්නත් ඉඩකඩක් තියෙනවා. මම එනවමයි කියන්නේ නැහැ. මොකද එක දුර වැඩියි අපට පුරෝකථනය කරන්න.''