විදුලිය යළි ලැබෙන වේලාව ගැන දැනුම්දීමක් - ''රාත්‍රී 6.30 වන විට විදුලිය යථා තත්ත්වයට පත්වන බව NSO කියයි''

Report

දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳවැටීමෙන් පසු විදුලි බලාගාර කිහිපයක බිඳවැටීම් සිදුව ඇති බවට පළවන වාර්තා ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) ප්‍රතික්ෂේප කර තිබේ. කිසිදු විදුලි ජනන බලාගාරයක බිඳවැටීමක් වාර්තා වී නොමැති බව එම ආයතනය අවධාරණය කරයි.

නවතම නිවේදනයක් නිකුත් කරමින් NSO සඳහන් කර ඇත්තේ විදුලි පද්ධතිය බිඳවැටීමට පෙර ක්‍රියාත්මකව පැවති සියලු ජල විදුලි බලාගාර මේ වන විටත් ක්‍රියාත්මක බවයි.

විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීම සඳහා එම බලාගාරවල විදුලිය භාවිත කරන බව ද එම ආයතනය පවසයි. නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරය ද යන්ත්‍ර දෝෂයක් හේතුවෙන් නොව, විදුලි පද්ධතියේ බිඳවැටීමෙන් පසු අනුගමනය කරන සාමාන්‍ය ක්‍රියාපටිපාටියට අනුව අක්‍රිය කර ඇති බව NSO පැහැදිලි කර තිබේ.

දහවල් 12 සිට ප්‍රදේශයෙන් ප්‍රදේශයට විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට හැකි වී ඇති බව ද එම ආයතනය සඳහන් කරයි.

ඒ අනුව, අද (17) පස්වරු 6.30 පමණ වන විට ජාතික විදුලි පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇතැයි NSO අපේක්ෂා කරයි. දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීමෙන් පසු විදුලි ජනන පහසුකම් කිහිපයක බිඳවැටීම් සිදුව ඇති බවට පළ වූ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් මෙම පැහැදිලි කිරීම සිදුකර ඇත.

විදුලිය ගැන සුබ ආරංචියක් - කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය යථා තත්ත්වයට

විදුලිය ගැන සුබ ආරංචියක් - කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය යථා තත්ත්වයට