“විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය” අදින් ඇරඹෙයි
“රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අද (01) සිට රට පුරා ආරම්භ වී ඇත.
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීම සඳහා වන “රටම එකට” ජාතික මෙහෙයුම් සභාව විසින් අදින් ආරම්භ වන සතිය විෂ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, මීට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අංක 07/2026 රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
මෙම සතියේ ප්‍රධාන අරමුණු වන්නේ විෂ මත්ද්‍රව්‍ය අලෙවිය හා බෙදාහැරීම පාලනය කර මර්දනය කිරීම සහ ඇබ්බැහි වූවන් මුදවා ගෙන පුනරුත්ථාපනයට යොමු කිරීමයි.
ඒ සඳහා ජනතාව අතර පුළුල් දැනුවත්භාවයක් හා සමාජ කතිකාවක් ඇති කිරීම අපේක්ෂා කෙරේ. සතිය තුළ රාජ්‍ය ආයතන, පාසල්, බිම් මට්ටම් සංවිධාන හරහා දැනුවත් කිරීමේ මෙහෙයුම් රැසක් සංවිධානය වේ.
සියලුම අමාත්‍යාංශ හා අනුබද්ධ ආයතනවල නිලධාරීන්ගේ දායකත්වයෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන අතර, පාසල් ගුරුවරුන්, සිසුන් හා පොදු මහජනතාව ඉලක්ක කරගෙන නව ප්‍රචාරක ක්‍රියාකාරකම් සිදු කෙරේ.
විශේෂයෙන් පොදු ප්‍රවාහනයේ නියුතු බස් රථ, ත්‍රිරෝද රථ හා පාසල් ප්‍රවාහන රථ මගින්ද ප්‍රචාරණයන් සිදු කිරීමට නියමිතය.
එසේම, අදාළ රාජ්‍ය ආයතන හරහා නීතිමය ක්‍රියාමාර්ග හා මැදිහත්වීම් නොපිරිහෙළා ක්‍රියාත්මක කරමින්, මෙම ජාතික මෙහෙයුම සාර්ථක කර ගැනීමට අත්‍යවශ්‍ය සමාජ දැනුවත්භාවය ඇති කිරීම මෙම වැඩසටහන්වල ප්‍රධාන ඉලක්කය වේ.
මෙම සතිය තුළ රට පුරා දැනුවත් කිරීම්, සාකච්ඡා හා ප්‍රචාරණ ක්‍රියාකාරකම් හරහා මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව ජනතාවගේ සහයෝගය ලබා ගැනීමට රජය අපේක්ෂා කරයි.