මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සලිත වෙයි - කුඩු ජාවාරමේ ප්‍රබලයෙක් ‘රන් මල්ලි’ බල්ගේරියාවේදී අත්අඩංගුවට
කිරින්ද වෙරළ තීරයෙන් සොයාගත් කිලෝග්‍රෑම් 345ක පමණ අයිස් මත්ද්‍රව්‍ය තොගයේ ජාවාරම ඇතුළු සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති චරිත් සඳකලුම් හෙවත් ‘රන් මල්ලි’ බල්ගේරියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ජාත්‍යන්තර පොලිසිය විසින් නිකුත් කර තිබූ රතු නිවේදන සහ දේශසීමා ආරක්ෂක දත්ත පද්ධති මත පදනම්ව බල්ගේරියානු ආරක්ෂක අංශ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අදාළ අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තර පොලිසිය විසින් තහවුරු කර ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය. ඒ අනුව, විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා උදර්පන නීතිය යටතේ සැකකරු මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.
දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන චරිත් සඳකලුම් දීර්ඝ කාලයක සිට ඩුබායිහි රැඳී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇති බව වාර්තා වේ.
දැනට තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස ද ඔහු හඳුනාගෙන තිබේ.
ජාත්‍යන්තර වැටලීම්වලින් බේරීම සඳහා ව්‍යාජ තොරතුරු භාවිත කරමින් යුරෝපයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී සැකකරු බල්ගේරියානු ආරක්ෂක අංශ භාරයට පත්ව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.