අපරාධකරුවන් බිහිකරන 'ෆැක්ටරි' බවට බන්ධනාගාර පත්වෙලා.. මෙන්න කතාව
මහනුවර - විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා රට පුරා පවත්වන ජාතික මෙහෙයුම් වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික් සභාව පිහිටුවීම නිමිත්තෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පැවැති විශේෂ රැස්වීමකදී මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා මෙම අනතුරු ඇඟවීම සිදු කළේය.
එහිදී ඔහු ප්‍රකාශ කළේ, කුඩා මත්ද්‍රව්‍ය පැකට්ටුවක් සමඟ අත්අඩංගුවට ගන්නා ඇතැම් පුද්ගලයින්ට දඩ මුදල් ගෙවාගැනීමට හැකියාව නොමැති නිසා බන්ධනාගාර ගත වන බවයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී තවදුරටත් අවධාරණය කළේ,
"ඉතාම සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් කටයුතු කරත්දී මත්කුඩු පැකට් එකක් සමඟ පොලීසිය අත්අඩංගුවට ගන්නා ඇතැම් පුද්ගලයින් දඩ ගාස්තු ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාර ගත වෙනවා. මේ පුද්ගලයා බන්ධනාගාර ගතවීමෙන් ඇතැම් විට ඔහුගේ පවුල් සංස්ථාව බිඳ වැටෙනවා. බන්ධනාගාරවල පහසුකම් අඩුවීම තුළ මෙවැනි අය මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ගෙන් වෙන්කර තැබීමට නොහැකියි. මේ නිසා ඔවුන් බන්ධානාගාරය තුළදී ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත්වෙනවා. මත්ද්‍රව්‍ය පැකට් එකක් සමඟ අත්අඩංගුවට ගන්නා පුද්ගලයා බන්ධනාගාරයට යොමුකර අපි අපරාධකාරයෙක් එළියට ගන්නවා. මේ ක්‍රියාවලිය තුළ එක පැත්තකින් බන්ධනාගාර අද අපරාධකරුවන් බිහිකරන ෆැක්ටරි බවට පත්වෙනවා."

“මත්ද්‍රව්‍ය සඳහා පවතින ඉල්ලුම අඩු කළොත් සැපයුම අඩාල කරන එක අසීරු නැහැ. පුනරුත්ථාපනය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන පුද්ගලයින් සංඛ්‍යාව ඉතා අවමයි. මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම රෝගී තත්ත්වයක් කියන මට්ටමකට අපේ ජනතාවගේ මනස හදා ගන්න තාමත් අපට නොහැකි වී තිබෙනවා.මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයෙක් අපරාධකරුවෙක් විදිහට දකින්න තමයි සමාජය පුරුදුවී සිටින්නේ. එම පුද්ගලයාව අත්අඩංගුවට අරන් පුළුවන් නම් දෙක තුනක් ගහලා බන්ධනාගාර ගත කිරීම තමයි සමාජය පොලීසියෙන් අපේක්ෂා කරන්නේ. මෙතනින් එළියට ජන මනස ගොඩනැගීම සඳහා යාන්ත්‍රණයක් නොමැතිව මේක සාර්ථකව කරන්න අමාරුයි."
මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම වලක්වා ගැනීම සඳහාවන යාන්ත්‍රණය ශක්තමත් නැහැ. අපි කොතෙක් දැනුවත් කිරීම් කළත් ප්‍රතිපල අඩුයි. සමහර දැනුවත් කිරීම් නොදැනුවත්වම මත්ද්‍රව්‍ය ප්‍රචාරණ වැඩපිළිවෙළක් බවට පත්වෙලා. මත්ද්‍රව්‍ය වලට එරෙහිව ගමේ වැඩ කරන තරුණ ප්‍රජාවට ඒ කරන කැපකිරීම වෙනුවෙන් ප්‍රතිලාභයක් ලබාදෙන්න පුළුවන් නම් හොඳයි. රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවකට යාමේදී ඔහුට යම් ප්‍රමුඛත්වයක් ලබාදෙන වැඩපිළිවෙළක් අවශ්‍යයයි. එවැනි ප්‍රතිලාභයක් ලැබෙනවා නම් ප්‍රජාව ඉදිරිපත් වෙනවා.
අස්වැසුම ලබා ගන්නා පවුල් අතර මත්ද්‍රව්‍ය භාවිත කරන අය ඉන්නවා නම් එය ලබාදීම සඳහා ස්වේඡාවෙන් පුනරුත්ථාපනය සඳහා යොමුවන ලෙස බලපෑමක් කළ හැකියි. නීතිය ක්‍රියාත්මක කිරීමෙන් එළියට ගොස් මෙවැනි දේ කළ හැකිද යන්න සම්බන්ධයෙන් සලකා බැලීම වටිනවා.