වසා දැමූ ඇගලුම් කම්හලෙන් සේවකයන්ට ඩබල් වන්දි
NEXT' ඇඟලුම් කම්හල හදිසියේ වසාදැමීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ මැදිහත්වීමෙන් ඊයේ (27) පවත්වා තිබේ. කම්කරු අමාත්‍යාංශයේ දී පැවති මෙම සාකච්ඡාව සඳහා අදාළ ඇඟලුම් කම්හලේ පාලනාධිකාරය, වෘත්තීය සමිති නියෝජිතයන් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් ද එක්ව ඇත.
'NEXT' ඇඟලුම් කම්හල වසාදැමීම සම්බන්ධයෙන් මීට පෙර පැවති සාකච්ඡාවලදී එහි පාලනාධිකාරය සහ වෘත්තීය සමිති නියෝජිතයන් වෙන්වෙන්ව කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා සමග සාකච්ඡා පවත්වා තිබුණද, එම දෙපාර්ශ්වය එක්ව සාකච්ඡා පැවැත් වූ ප්‍රථම අවස්ථාව මෙය වේ.
ඒ අනුව මෙම ඇඟලුම් කම්හල කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව වසාදැමීමට ගත් තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇත. එසේ වසාදැමීමට තීරණය කළ යුත්තේ සේවකයන් පූර්ව දැනුම්වත් කිරීමකින් අනතුරුව බව මෙහිදී ප්‍රකාශ වී තිබේ. එමෙන්ම වෘත්තීය සමිති නියෝජිතයන් අවධාරණය කර ඇත්තේ සේව්‍ය සේවක සාමූහික ගිවිසුමට අනුව පාලනාධිකාරය කටයුතු නොකිරීම ගැටලු සහගත බවයි. කෙසේ වතෙත් ඊට පිළිතුරු දෙමින් පාලනාධිකාරය සඳහන් කර ඇත්තේ, අදාළ සාමූහික ගිවිසුම නීත්‍යානුකූල ලියවිල්ලක් ලෙස පිළිගැනීමට හැකියාවක් නොමැති බවය.
මීට පෙර ප්‍රකාශ කළ පරිදි සේවය අහිමිවන සේවකයන්ට කම්කරු නීතියට අනුව ගෙවිය යුතු වන්දි මුදලට වඩා වැඩි මුදලක් ගෙවීමට තම සමාගම තවදුරටත් සුදානමින් පසුවන බව මෙහිදී එහි පාලනාධිකාරිය සඳහන්කර ඇත. ඔවුන් සඳහන් කළේ සිය ආයතනය මෙම කම්හල වසාදමීමට තීරණය කළේ මෙහෙයුම් පිරිවැය අධිකවීමෙන් පසුගිය වසර කිහිපය පුරා දැඩි ලෙස පාඩු ලබමින් සිටීම හේතුවෙන් බවය.
