මෙම වසර තුළ සේවයෙන් ඉවත් වූ වෛද්‍යවරුන් සංඛ්‍යාව දහසකට ආසන්නයි.

Report

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය වී ඇත්තේ මෙම වසර තුළ පමණක් වෛද්‍යවරුන් දහසකට ආසන්න පිරිසක් සේවයෙන් ඉවත් වී ඇති බවයි.

වැඩබලන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසුරිය මහතා පැවසුවේ වසර 05ක නිවාඩු ලබා විදෙස්ගත වීම, සේවයෙන් ඉල්ලා අස්වීම, දැනුම් දීමකින් තොර ව සේවයෙන් ඉවත් වීම හා නියමිත සේවා කාලය සම්පුර්ණ විමෙන් පසු විශ්‍රාම ගැනීම යන කරුණු හේතුවෙන් මේ වසර තුළ සෞඛ්‍ය සේවාවට වෛද්‍යවරුන් 957 දෙනෙකු අහිමි වී ඇති බවයි.

වෛද්‍යවරයා මේ බව කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විගණකාධිපති වාර්තා සම්බන්ධයෙන් ලබාදුන් නියෝග ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය හා වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට කෝපා කමිටුව රැස් වූ අවස්ථාවේ දීය. 

ඇතැම් ප්‍රතිකාර ඒකකවල පැය 24 පුරා සේවා පවත්වාගෙන යාමේ ගැටලුවක් ද මතු ව ඇති බව ඔහු අවධාරණය කරනවා.

මෙහි දී කමිටු සභාපති ලසන්ත අලගියවන්න මහතා පියවර ගෙන තිබුණේ සෞඛ්‍ය අමාත්‍යාංශය සතු ව විශාල වශයෙන් අක්‍රමිකතා සහ දුර්වලතා පවතින බැවින් ඖෂධ මිල දී ගැනීම් සහ සේවක සංඛ්‍යාව ඇතුළු කරුණු පිළිබඳ පරික්ෂා කිරීම සඳහා අනුකමිටු දෙකක් පත් කිරීමටයි.

තම සේවයට නිසි වටිනාකමක් නොමැති වීම වෛද්‍යවරුන් විදෙස්ගත වීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව අද (23) පැවති මාධ්‍ය හමුවක දී රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවා.

මේ අතර, කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සිල්වා මහත්මිය පැවසුවේ හෙද හෙදියන් ද විශාල පිරිසක් විදෙස්ගත වී ඇති බව ය.