දෙමව්පියන් සැලකිලිමත් විය යුතු හෙළිදරව්වක් -''ඩිජිටල් යුගයේ ළමා අපයෝජන රටාව වෙනස් වී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි''
මෙරට සිදුවන ළමා අපයෝජන ඩිජිටල් යුගයත් සමඟ වෙනස්වීමට ලක්ව ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. ලෝක ළමා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය සඳහන් කර ඇත්තේ පසුගිය වසර කිහිපය තුළ අධිකාරිය වෙත වාර්තා වූ පැමිණිලිවලින් මේ පිළිබඳ නිරීක්ෂණය කළ හැකි බවයි.
විශේෂයෙන්ම සමාජ මාධ්‍ය භාවිතයේදී ළමුන් හිංසනයට ලක්වීම, පාසල් අධ්‍යාපනය අඛණ්ඩව ලබා නොදීමේ සිදුවීම් ඉහළ යාම, මව්වරුන් විදේශගත වීම, පවුල් ආරවුල් සහ දෙමාපියන් දික්කසාද වීම වැනි කරුණු ළමා අපයෝජන වර්ධනයට බලපාන බව ඇය පෙන්වා දෙයි.
එමෙන්ම ළමුන් විසින්ම අනෙක් ළමුන්ගේ ගරුත්වයට හානිවන ආකාරයෙන් කටයුතු කිරීම සහ ඔවුන් අපයෝජනවලට පෙළඹවීම වැනි තත්ත්වයන් ද ඉහළ යමින් පවතින බව ඇය සඳහන් කරයි.
ආරක්ෂාවයි - පහසුවයි දෙකම එකට - Digital Apps වලින් Logout වෙන්න කලින් සැලකිලිමත් විය යුතු වැදගත් කරුණු
මේ අතර, ළමුන් වැඩි වශයෙන් ඩිජිටල් තිර භාවිත කිරීමට යොමුවීම හේතුවෙන් ඔවුන්ගේ ළමා කාලය අහිමිවීම සහ අධ්‍යාපනය කෙරෙහි අවධානය අඩුවීම වැනි ගැටලු ද මතුව තිබේ.
එවැනි තත්ත්වයක් තුළ සවිමත් ළමා පරපුරක් ගොඩනැගීම අභියෝගයක් වී ඇති බවද සභාපතිවරිය පෙන්වා දෙයි. කායික, ලිංගික සහ මානසික අපයෝජන මෙන්ම නොසලකා හැරීම ඇතුළු සියලු ආකාරයේ අපයෝජනවලින් ළමුන් ආරක්ෂා කිරීම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රමුඛ වගකීමක් බව ඇය සඳහන් කරයි.
එවැනි අපයෝජනයන්ට ගොදුරු වූ ළමුන් ආරක්ෂා කිරීම සඳහා අධිකාරිය නිරන්තරයෙන් කැපවී කටයුතු කරන බවද ඇය වැඩිදුරටත් පවසයි. ළමා අපයෝජන සම්බන්ධ සිදුවීම් කිසිදු අවස්ථාවක සමථයකට පත් නොකරන ලෙසත්, එවැනි සිදුවීමක් පිළිබඳ තොරතුරු ලැබුණු වහාම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක දුරකථන සේවයට දැනුම් දෙන ලෙසත් සභාපතිවරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
ළමුන් ආරක්ෂා කිරීමේ ප්‍රථම වගකීම පවුලෙන් ආරම්භ වන බැවින් සියලුම දරුවන් ආරක්ෂා කිරීම සඳහා එක්ව කටයුතු කරන ලෙසද ඇය ඉල්ලා සිටියාය.