ඩයනා කුමරිය රහස් පෙම්වතා සමඟ දකුණු අප්‍රිකාවට පලා යන්න හදපු රහස එළියට- සොහොයුරු චාල්ස් ස්පෙන්සර්ගේ අලුත්ම පොතෙන් අනාවරණයක්!

Report

ඩයනා කුමරිය බ්‍රිතාන්‍යයේ ගත කළ ජීවිතය දැඩි පීඩනයක් බවට පත්වීම නිසා, සිය රහස් පෙම්වතා වූ පාකිස්තාන-බ්‍රිතාන්‍ය ජාතික හෘද ශල්‍ය වෛද්‍ය ආචාර්ය හස්නත් ඛාන් සමඟ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි නව, සාමාන්‍ය ජීවිතයක් ඇරඹීමට සැලසුම් කර තිබූ බව ඇගේ සහෝදරයා වන චාල්ස් ස්පෙන්සර් පවසයි.

ඔහුගේ නවතම 'Swan Song: Diana, My Sister' මතක සටහන් පොතෙහි මේ පිළිබඳව තොරතුරු අනාවරණය කර තිබේ. මෙම සැලසුම සාර්ථක කරගැනීම සඳහා ඩයනා කුමරිය, ලොව පළමු සාර්ථක හෘද බද්ධ කිරීම සිදු කළ ප්‍රවීණ වෛද්‍ය ක්‍රිස්ටියන් බානාඩ්ගේ සහාය පවා පතා ඇති අතර, ඒ හස්නත් ඛාන් හට දකුණු අප්‍රිකාවේ ග්‍රූට් ෂූර් රෝහලෙන් රැකියාවක් ලබාගැනීමේ අරමුණිනි.

1997 මාර්තු මාසයේදී දකුණු අප්‍රිකාවේ සංචාරයක නිරත වූ ඩයනා එහිදී නෙල්සන් මැන්ඩෙලා ද හමුවී ඇති අතර, එංගලන්තයේ පැවති තත්ත්වය හමුවේ ඇය දැඩි අසතුටින් හා පීඩාවෙන් පසුවූ බව ස්පෙන්සර් සඳහන් කරයි. 1995 දී හමුවූ මෙම යුවළ වසර දෙකක පමණ කාලයක් සිය ප්‍රේම සම්බන්ධය ඉතා රහසිගතව පවත්වාගෙන ගියහ.

ඩයනා ඔහු සමඟ විවාහ වීමට පවා කැමැත්තෙන් සිටියද, ඇය වටා පැවති අධික මාධ්‍ය සහ මහජන අවධානය හමුවේ සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට නොහැකි වනු ඇතැයි සිතූ හස්නත් ඛාන් පසුව එම අදහස ප්‍රතික්ෂේප කර තිබේ.

ඩයනාගේ අභාවයෙන් වසර තිහකට ආසන්න කාලයකට පසු එළිදැක්වූ මෙම ග්‍රන්ථය මගින් ඇගේ මතකය සුරක්ෂිත කිරීමට අදහස් කරන බව ස්පෙන්සර් වැඩිදුරටත් පවසයි.

ඔහු ඇයව හදුන්වන්නේ අද්විතීය, ජව සම්පන්න චරිතයක්; ආදරයෙන්, ආකර්ෂණීය පෞරුෂයකින් සහ ආත්ම විශ්වාසය පිළිබඳ ගැටලුකාරී සිතුවිලිවලින් පිරුණු, ජීවිතයට උපරිමයෙන් මුහුණ දුන් සහ ඉතා තරුණ වියේදීම ලොවෙන් සමුගත්තද ලෝකය වඩාත් යහපත් තැනක් බවට පත් කළ කාන්තාවක්" ලෙසිනි.