දේශබන්දු තනතුරෙන් ඉවත් කිරීම සඳහා වූ යෝජනාව අද මැති සබයට
රක්ෂිත බන්ධනාගාරගතව සිටින දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට නියමිතය.
දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පසුගියදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දෙන ලද අතර, එයට ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 115 දෙනෙකු අත්සන් තබා තිබුණි.
පාර්ලිමේන්තු කටයුතු සාකච්ඡා කිරීම සඳහා පසුගිය 02 වැනිදා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ අතර, එහිදී අද (08), හෙට (09) සහ 10 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කෙරිණි.
අද පෙරවරු 9.30 සිට 10.00 දක්වා ස්ථාවර නියෝග 22(1) යටතේ සිට 22(6) දක්වා වූ පාර්ලිමේන්තු කටයුතු සඳහා කාලය වෙන් කර ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි. පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න සඳහාත්, 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහාත් කාලය වෙන් කර තිබේ.
පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය සහ අපරාධ නඩු විධාන විශේෂ විධිවිධාන පනත යටතේ නියමය අනුමත කිරීමට නියමිතය.
එසේම, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමට සැලසුම් කර ඇත.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ, මෙම යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත වනු ඇති බවයි.
